Breaking News

මෙන්න corner man ඩයන් ගෝමස්ගෙ කාතාව

cornerman යනු බොක්සිං, මල්ලවපොර හෝ එවැනි ඕනෑම සටන්කලාවක් ආශ්‍රිත ක්‍රීඩා තරඟයකදී ක්‍රීඩකයා වෙනුවෙන් ආවතේවකම් කරන තැනැත්තා හඳුන්වන සංකේත නාමයයි. තරඟය ඇතුලත cornerman වෙත පැවරෙන වගකීම අති විශාලය. ක්‍රීඩකයා තරඟයට පෙර සූදානම් කිරීමේ සිට තරඟය ඇතුලත එල්ලවූ පහරකින් ක්‍රීඩකයා ඇදවැටුණේ නම් ඔහු ඔසවා සත්කාර කිරීම දක්වා ක්‍රියාකාරකම් රැසක් cornerman වෙත පැවරී ඇත.



මා සතු පෞද්ගලික අත්දැකීමක් මෙහි සඳහන් කිරීමට කැමැත්තෙමි. එමඟින්, cornerman යනු කවරෙක් දැයි මෙම සටහන කියවන අයකු වෙත නිශ්චිතව වටහාගත හැකි වනු ඇත. එක්තරා ජාතික මට්ටටමේ ක්‍රීඩා තරඟයකදී මාගේ සහෝදර ක්‍රීඩකයකු වෙනුවෙන් වරෙක මා cornerman ලෙස කටයුතු කළෙමි. තරඟය දෙවැනි වටයේ අවසාන සීනුව නාද වීමත් සමඟ කුඩා තුවා කැබැල්ලක්, වතුර බෝතල හා බාල්දියක් රැගෙන මා වළල්ල තුලට පිවිසෙන විට මගේ සහෝදර ක්‍රීඩකයා ප්‍රතිවාදියාගෙන් පහර කා දැඩි ලෙස හෙමිබත් වී සිටියේය. ඔහු හිඳගත් වහාම මා ඔහුගේ මුව වෙත අත දිගු කළේ් මුව ආරක්ෂකය(mouthguard) ඉවත් කිරීමටය. එකවරම ඔහු මා අතට නිදහස් කළේ රැධිරයෙන් නැහැවුණු ලේ ගුලියක් බඳු වූ මුව ආරක්ෂකයකි. cornerman ලෙස මට එය ප්‍රතික්ෂේප කළ නොහැක. මන්ද එය මගේ රාජකාරිය බැවිනි. සටන් කලාවක් හදාරන්නෙකු සහ ක්‍රීඩකයකු ලෙස මා හට රුධිරය අපුල විය නොහැක. මාගේ එකම වගකීම වන්නේ ක්‍රීඩකයා ඉදිරි වටය සඳහා නැවත සූදානම් කිරීම පමණි.

cornerman යනුවෙන් රචිත ස්වයං ලිඛිත චරිතාපදාන ග්‍රන්ථය ඔබ කියැවිය යුතුය. එය ඩයන් ගෝමස් නැමැති ලාංකික ව්‍යවසායකයාගේ ජීවන කතාවයි. ඔහු පාසල් සමයේ බොක්සිං වළල්ල තුල දස්කම් පෑ ක්‍රීඩකයෙකි. අද ඔහු දේශිය ව්‍යාපාර ජාලයක හිමිකරුවෙකි. ශ්‍රී ලංකාව තුල බොක්සිං  යන නාමයක් හෝ නොඇසුණු වකවානුවක මංජු වන්නිආරච්චි XIX වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟයේ දී රන් පදක්කමක් දිනාගත්තේය. ලෝකය පුදුම කරවූ ඒ ජයග්‍රහණය තුල දීර්ඝ කතාවක් සැඟව තිබුණි. ඒ වන විට ජාත්‍යන්තර බොක්සිං වළල්ල තුල ශ්‍රී ලාංකික පදක්කම් ලැයිස්තුව වෙත තවත් නම් එකතු වෙමින් පැවතුණි. ලෝකයේ බොක්සිං ක්‍රීඩාවේ ආධිපත්‍යය ඉසිලූ කියුබානු සමාජවාදී ජනරජයේ පුහුණුකරුවන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම භාරගනු ලැබුවේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ආරාධනයකින් නොව, ඩයන් ගෝමස් නැමැති ලාංකිකයාගේ අරාධනය මතය.  ඩයන් ගෝමස් නැමැති පරිච්ඡේදය නොතිබෙන්නට ලාංකික ‍බොක්සිං වංශකතාව ජාතික මට්ටමේ ක්‍රීඩා තරඟ වලට පමණක් සීමාවන්නට ඉඩ තිබුණි. ජාතික හා ආධුනික තලයේ අංකුර ක්‍රීඩකයන් ගවේෂණය කරගනිමින් ඔවුන් වෙත පූර්ණ අනුග්‍රහය ලබාදීමට තරම් ඩයන් නිහතමානී නොවුයේ නම් අපට අද අපේ මුෂ්ඨි ප්‍රහාරකයන් පිලිබඳ ආඩම්බර විය නොහැක. ඩයන් ඉටු කළේ රටක වගකීමයි.

ලෝක ශුරයන්හට බොක්සිං වළල්ලේ රබර් මෙට්ටය සිපගැනීමට සලස්වමින් පහර පිට පහර දෙන අපේ ක්‍රීඩකයන් තවත් පදක්කමක් වෙත ඉව අල්ලනු දැකීමට තරම් අප අද ශක්තිමත් වී ඇත. ඒ ජයග්‍රහණය පිටුපස සිටි සැබෑ cornerman ඔහුයි.



Kusal kavinda Amarasinghe

No comments