ලොකු දුකක් විඳ ලැබූ පදක්කම මට මහ මෙරක් - මෙවර පොදුරද මඩුලු ක්‍රිඩා උළෙලේ ලංකාවට පළමු පදක්කම ගෙනාව චතුරංග ලක්මාල් කියපු කතාව (PHOTOS) | Reporter ලොකු දුකක් විඳ ලැබූ පදක්කම මට මහ මෙරක් - මෙවර පොදුරද මඩුලු ක්‍රිඩා උළෙලේ ලංකාවට පළමු පදක්කම ගෙනාව චතුරංග ලක්මාල් කියපු කතාව (PHOTOS) - Reporter

Breaking News

ලොකු දුකක් විඳ ලැබූ පදක්කම මට මහ මෙරක් - මෙවර පොදුරද මඩුලු ක්‍රිඩා උළෙලේ ලංකාවට පළමු පදක්කම ගෙනාව චතුරංග ලක්මාල් කියපු කතාව (PHOTOS)



ක්‍රීඩකයකුට ඔලිම්පික්, ‍පොදුරාජ්‍ය මණ්ඩලීය වැනි තරගාවලියක පදක්කමක් ගැනීමට හැකියාව ලැබේ නම් එය සුවිශේෂී හැකියාවක් වනු ඇත. එහි අගය තවත් දෙගුණ තෙගුණ වන්නේ තම රට වෙනුවෙන් ක්‍රීඩා උළෙලක මුල්වරට පදක්කමක් ලැබිමට හැකියාව ලැබුණහොත්ය.
මෙවර 21 වැනි ‍පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙ‍ලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම පදක්කම ලෙස පළමු දිනයේම බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් කි.ග්‍රෑ. 56 බර පන්තියෙන් ලෝකඩ පදක්කම ලැබූ චතුරංග ලක්මාල් ගැන වැඩි යමක් පැවසීමටය.
ගෝල්ඩ්කොස්ට් බර ඉසිලීමේ ක්‍රීඩකයෝ අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී යද්දී ශ්‍රී ලංකා ක්‍රීඩක චතුරංග ලක්මාල් ලබාගත් ලෝකඩ පදක්කම ගැන ප්‍රකාශ කළේ මෙය තමාට රන් පදක්කමක් ලෙස වඩාත් වටිනා අගයක් ඇති බවයි.
" ඇත්තටම මට කියන්න බැරි තරම් සතුටක්. ගිය වර ‍පොදු රාජ්‍ය මණ්ඩලීය ශූරතාවලියෙ මේ බර පංතියේ රිදී පදක්කම ලැබුවා. ඒත් මෙහිදී බර ප්‍රමාණය ක්‍රි.ග්‍රෑ. 248 නිසා අගය වැඩියි. ලෝකඩ පදක්කම ලැබුවත් මේ නිසා ගොඩක් සතුටුයි. මට විශ්වාසය තිබුණා කුමන හෝ පදක්කමක් දිනන බවට. ඒ දේ මම සිදුකරා. ගිය වර කි.ග්‍රෑ. 248 බර ශ්‍රී ලංකා වාර්තා දෙකකුත් ‍පොදු රාජ්‍ය මණ්ඩලීය තරග වාර්තාවක් ද බිහිකරමින් මීට අමතරව මේ වසරේ මගේ හොඳම බර කි.ග්‍රෑ. 247. එය අද කි.ග්‍රෑ. 248 නව ශ්‍රී ලංකා වාර්තාවක් ද වීම ගොඩක් වැදගත්.
මම බොහෝ දුක් විඳලා තමයි මේ පදක්කම ලැබුවේ. මගේ අප්පච්චි, අම්මා, බිරිඳ, දරුවන් දෙදෙනා ගොඩක් සතුටු වෙයි. ඔවුන් මට වඩා සතුටු වේවි. ටී.එම්.යූ.බි. ජයතිලක මගේ මුල් පුහුණුකරු. ආර්.බි. වික්‍රමසිංහ මහතා, 4වැනි කොමාන්ඩෝ රෙජිමේන්තුව, සියලු රෙජිමේන්තු නිලධාරීන්, යුද හමුදාපති මේ අයට ස්තුති කළ යුතුයි. කර්නල් හේරත් මගේ හිටපු අණදෙන නිලධාරි ගොඩක් සතුටුවෙයි. අද මට මෙතැනට එන්න ශක්තිය දුන්නෙ ඔහු. ස්නැච් ක්‍රමයට මම හොඳටම තරග කරා ස්ර්ක් ක්‍රමයටත් හොඳින් තරග වැදුණා. ලැබුණ ප්‍රතිවාදියාත් හොඳයි. මේ නිසා මට ලැබුණ මේ පදක්කම වැදගත්
මම ගම්පහ උඩුගම්‍පොළ ප්‍රදේශයේ උක්ගල්බොඩ කනිෂ්ඨ විදුහලට අධ්‍යාපනය සඳහා ගියේ. මම 4වැනි කමාන්ඩෝ රෙජිමේන්තුවේ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ සේවය කළේ. යුද හමුදාවට ගියේ ස්ථිර රැකියාවක් නැතිකමට. 2008 යුද හමුදාවට බැඳුණා. ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ පාඨමාලාවට මට කොළඹ යන්න සිදුවුණා. ගනේමුල්ල යුද හමුදා කඳවුරේ එදා මගේ සර් ටී.එම්.ඩී.බි. ජයතිලක මාව දැක්කා. මම පාස‍ලේ දී මේ ක්‍රීඩාව කළේ නැහැ. ජයතිලක සර් කඳවුරේ මම ඇවිදිමින් සිටින විට දැක මාව මේ ක්‍රීඩාවට යොමුකළේ. සර් මාව මේ තැනට ගෙනාවා. දැනට මම ශ්‍රී ලංකා වාර්තා 14ක් තබා තිබෙනවා. ‍පොදු රාජ්‍ය මණ්ඩලීය වගේම දකුණු ආසියානු වාර්තාවකට මම හිමිකම් කියනවා. සතුටක් ඒක.
මගේ දක්ෂතාවලට ඇගයීමක් ක්‍රීඩා අමාත්‍යතුමා, ජාතික ඔලිම්පික් කමිටුව, බර ඉසිලීමේ සංගමය උදව්කරනවා. පුහුණුවීම් කිරීමට මුදල් ලබා දෙනවා. යුද හමුදා කායවර්ධන බර ඉසිලීමේ සභාපති ජෙනරාල් පලිහවඩන ලොකු රුකුලක් දෙනවා. මාව රැකියාවෙන් නිදහස් කරනවා. අද මේ ක්‍රීඩාවේ රුකුල තමා ආර්.බි. වික්‍රමසිංහ පුහුණුකරු. එහි ප්‍රතිඵල තමයි මේ. මීළඟ ආසියානු උළෙල පදක්කමක් මට විශ්වාසය තියෙනවා.
මැ‍ලේසියාව, චීනය මට ලොකු තර්ජනයක්. ඒත් මේ තරගය තමයි වැදගත්. මගේ බිරිඳ ඉෂාරා කරුණානායක, ලොකු පුතා හිරුණි සත්සර (අවුරුදු 5) දෙවැනි පුතාට අවුරුදු 1 1/2ක්. දැන් මම ගෙදර අයට තමයි මුලින්ම කතා කරන්නෙ. ඔවුන්ගෙ සතුට ඉහ වහා යයි. කොහොම වුණත් පළමු පදක්කම ලැබිම ගැන ගොඩක් සතුටුයි. මේ දක්ෂතා දියුණු කරගැනීමයි වැදගත්. අපි විශේෂයෙන් අපේ බර පාලනයට ලොකු වෙහෙසක් ගන්නවා. ආහාර පාලනය, ‍පෝෂ්‍යදායි ආහාර මේ සඳහා ලොකු වියදමක්. ඒත් අපේ ගමන අතහරින්නෙ නැහැ ලක්මාල් දැඩි අධිෂ්ඨානයෙන් පැවසීය.




No comments