Breaking News

ගලෙන්බිඳුනූ වැව ප්‍රදේශයෙන් ඇසෙන දුක්බර කතාව මෙන්න - (PHOTOS)


2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය 28 වනදා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබුවා. එහිදී දිවයින පුරා පළමු ස්ථාන 6ක් වාර්තා වූ අතර පෙර වසරවලට සාපේක්ෂව මෙවර විභාගය සමත් වූ ප්‍රතිශතය ද ඉහළ ගොස් තිබුණා. සිසු සිසුවියන් රැසක් මෙවර විභාගය සමත් වීමද විශේෂත්වයක් වුණා.
එය එසේ තිබියදී තම දරුවා විභාග ඉහළින් සමත්ව සිටියත් එම සතුට බුක්ති විඳීමට නොහැකිව අඬා වැළපෙන දෙමාපියන් පිරිසක් ද සිටිනවා. තම දරුවන් විභාගයට පෙනී සිටියත් එහි ප්‍රතිඵල නිකුත් වන අවස්ථාවේ ඔවුන් ජීවිතය අතැර ගොස් තිබීම හේතුවෙන්.
එවැනි පුවතක් වාර්තා වුණේ අනුරාධපුර ගලෙන්බිඳුනූවැව ප්‍රදේශයෙන්. 2017 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි මුදිත සුරංග හේරත් සිසුවා විෂයන් 8කට විශිෂ්ඨ සාමාර්ථ ලබාගෙන ඔහු අධ්‍යාපනය ලැබු අනුරාධපුර හුරුළුවැව මධ්‍ය මහා විද්‍යාලයට කීර්තියත් ලබාදී තිබෙනවා.
ඔහු විද්‍යාලයේ කීර්තිමත් සිසුවෙකු වූ අතර එහි ප්‍රධාන ශිෂ්‍ය නායකයා ද වනවා. කෙසේ වෙතත් වයස අවුරුදු 16 ක් වූ එම සිසුවා පසුගිය ජනවාරි මස 05 වැනිදා හදිසියේ රෝගාතුර වී මිය ගොස් තිබෙනවා.
ඔහුගේ මියයාමට නිවැරදි හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි ඔහුගේ දෙමාපියන් සඳහන් කර ඇත්තේ .නමුත් මෙම සිසුවා අනුරාධපුර හුරුළුවැව මධ්‍ය මහා විද්‍යාලය ඉතිහාසය වෙනස් කරමින් විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබාදෙනු ඇති බවට සියළු දෙනා අපේක්ෂා කර තිබෙනවා. ඒ ආකාරයෙන්ම සියළු දෙනාගේ බලාපොරොත්තු ඉෂ්ඨ වූවත් එම සතුට විඳින්න එම සිසුවා ජීවතුන් අතර නොමැති වීම සියළු දෙනා ශෝකයට පත් කර තිබෙනවා.
මුදිත සුරංග හේරත් සිසුවාගේ මව ගුරුවරියක් වූ අතර ඔහුගේ පියා විශ්‍රාමලත් රාජ්‍ය සේවකයෙක්. ඔහුට තවත් සහෝදරයන් දෙදෙනෙකු සිටින අතර මෙම සිසුවා ඉතාමත් දක්ෂ සිසුවෙකු බව සඳහන්.

No comments