ගමට වැවක් හදලා දෙන්න හාමුදුරුවන්ගේ මෝටර් රථය විකුණයි – අම්පිටියේ සුමනරතන හිමිගෙන් අපූරූ ක්‍රියාවක්... (PHOTOS) | Reporter ගමට වැවක් හදලා දෙන්න හාමුදුරුවන්ගේ මෝටර් රථය විකුණයි – අම්පිටියේ සුමනරතන හිමිගෙන් අපූරූ ක්‍රියාවක්... (PHOTOS) - Reporter

Breaking News

ගමට වැවක් හදලා දෙන්න හාමුදුරුවන්ගේ මෝටර් රථය විකුණයි – අම්පිටියේ සුමනරතන හිමිගෙන් අපූරූ ක්‍රියාවක්... (PHOTOS)


මඩකලපුව මංගලාරාම අධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පිළිබඳව පසුගිය දිනවල කතාබහට ලක්වුණා. ප්‍රදෙශයේ සිංහල ගම්මාන ගොඩ නැගීමට අපමණ වෙහෙසක් දරන උන්වහන්සේ විටෙක ආවේගශීලී ලෙස හැසිරීම පිළිබදවත් කතාබහට ලක්ව තිබෙනවා.
මේ අතර මඩකලපුව මංගලාරාම අධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පිළිබදව අපූරූ පුවතක් වාර්තා වෙනවා. එනම් උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව ප්‍රදේශයේ ජනතාව කෘෂිකර්මයට යොමු කිරීමයි.
අඩු ආදායම්ලාභි පවුල් වල මෙම ජනතාව , දුගීබව නිසාම මඩකලපුව ප්‍රදේශය අත හැර යාමේ සුදානමක්ද තිබුනා. එම නිසා අම්පිටියේ සුමනරතන හිමියන් ප්‍රධානත්වයෙන් මෙම ජනතාව ගොවිතැනට යොමුකර තිබුනා. ඒ සදහා තිබූ ප්‍රධානම අඩුපාඩුව වූයේ වැවකි. ඇතැම් කාල වලදි අධික නියගයෙන් පීඩා විදින මඩකලපුව ප්‍රදේශයේ ජනතාවට කෘෂිකර්මාන්තය සදහා ජලය ගබඩා කර තැබීම අත්‍යවශ්‍යම කරුණක් වූවා.
මේ බව අවබෝධ කර ගත් සුමනරතන හිමියන් මීට වසර කිහිපයකට පෙර කෙවිලියාමඩුව ප්‍රදේශයේ වැවක්‌ ඉදිකළ අතර තවත් වැවක් සෑදීමට උන්වහන්සේ කටයුතු කරමින් සිටිනවා. මෙම වැව සැදීමට මුදල් නොමැති නිසා උන්වහන්සේ කර ඇත්තේ අපූරූ වැඩක්.
එනම් වැව සෑදීමට වැයවෙන මුදල වෙනුවට , පරිත්‍යාගශීලීන් විසින් තමන්ට ලබා දුන් මෝටර් රථය කොන්ත්‍රාත්කරුට ලබා දීමටයි. ඒ අනුව කොන්ත්‍රාත්කරු , සුමනරතන හිමියන් සමග අත්සන් කළ ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස මඩකලපුව ජනතාවට ගොවිතැනට ජලය ලබා දීමට නියමිත මෙම වැව සෑදීම ආරම්භ කර තිබෙනවා.
මේ පිළිබදව මාධ්‍යයට අදහස් දැක්වූ  සුමනරතන හිමියන් කියා සිටියේ
“දිවුලපොතාන කෙවිලියාමඩුව ආදී මඩකලපුවේ සිංහල ගම්මාන රැසක නිවාස විශාල ප්‍රමාණයක්‌ හදන්න තම පුතාට පිං පිණිස නන්ද ද සිල්වා මහතා කටයුතු කරා. ඒ අතර තවත් නිවාස රැසක්‌ හදන්න කටයුතු කරමින් සිටිනවා. ඒක මට විශාල ශක්‌තියක්‌. ඒ වාගේම හේමමාලි බණ්‌ඩාරනායක, ආනන්ද බණ්‌ඩාරනායක, මොරිස්‌ සොන්ඩර්ස්‌ සහ චමිලා සොන්ඩර්ස්‌ යුවළ හෙළබිම සංවිධාන සහ දෙස්‌ විදෙස්‌ පරිත්‍යාගශීලීන් රැසක්‌ මාහට බොහෝ උදව් උපකාර කරා.
නමුත් හැම වෙලේම ඒ උදව් කරන අයට මට කරදර කරන්න බැහැ. නමුත් කොහොම හරි වැව හදන්නත් ඕන. ඒ නිසා මට බණ්‌ඩාරනායක මහත්මිය ඇතුලු පරිත්‍යාගශීලීන්ගේ ලැබුණු වාහනය දීලා මම වැව හදන්න ගත්තා. ලංකාවේ බොහෝ ආයතන තියෙනවා විවිධ දේට උපාකාර කරන. නමුත් මට තියෙන ගැටලුව තමයි ඇයි බොහෝ දෙනෙක්‌ මේ වගේ දේවල්වලට තමන්ගේ දායකත්වය නොදෙන්නේ කියලා. ඒ නිසා මම මගේ වාහනය වැව හදන ගාස්‌තුවට දෙන්න ගිවිසුමක්‌ ගහලා වැව හදන්න පටන් ගත්තා. කවුරු හරි පරිත්‍යාගශීලින්ගෙන් මට වැව හදන්න සහයක්‌ ලැබුණොත් මට වැවත් හදලා මගේ වාහනයත් බේරගන්න හැකි වෙයි. පසුගිය දිනවල කෙවිලියාමඩුවේ වගා කරන්න බිම් සකස්‌ කරන්න මට ලක්‌ෂ 18කට වැඩිය ගියා. රෑ පැල් රැක්‌කා. නමුත් අපේ ගොවිපලේ නියගය නිසා අස්‌වැන්න විනාශ වුණා. ලක්‌ෂ හතරහමාරක්‌ තමයි අපිට ආදායමක්‌ ලැබුණේ. නමුත් මම අහිංසක ජනතාවගේ කුස පුරවන්න හදපු වගා බිම අතහරින්නේ නැහැ” යනුවෙනි.

No comments