Breaking News

මළ ගිය ඇත්තන්ට ඇඳුම් මහන යකඩ ගැහැණිය – මල්ලිකා !


සන්නාලියනේ සන්නාලියනේ මේ හැන්දෑ යාමේ කණකොක් තටුවේ සුදු මැලි පාටින් සීතල ඇඳුම වියන්නේ.. වෙව්ලන දෑතින් මැළවුණු මුහුණින් කාටද ඇඳුම වියන්නේ..
අමරදේවයන්ගේ ශෝකාකූල ස්වරයෙන් ගැයෙන ගීතය ගුවන් විදුලියෙන් ඇසෙද්දී මසමින් සිටි ඇඳුම පසෙකලූ මල්ලිකා ඊට සවන් දෙන්නට වූයේ මහත් ඕනෑකමිනි.
මේක හරියට මටම කියන සින්දුවක් වගේ මල්ලිකාට සිතුණි. මෙළොව එළිය දැක දින කිහිපයක් ගතවන්නටත් මත්තෙන් අවසන් ගමන් ගිය බිළිඳියකගේ වත සරසන්නට මසමින් සිටි ලා රෝස පැහැති ඇඳුම අතට ගත් මල්ලිකාට රෝස පැහැති බෝනික්කියක මෙන්වූ දැරිය මැවී පෙනෙන්නට විය.
දැරියගේ සිරුර තුරුළු කොට ගෙන වැළපෙන මව මකයට ආවේ ඇගේ හදවත කොනක සියුම් වේදනාවක් මතු කරවමිනි.
තමන්ගෙ අතින් මහපු ඇඳුමක් තව කෙනෙකු ඇන්දම හැඩ බලලා ඒ මහපු කෙනා සතුටු වෙනවා. මොකද? ඒ අය ඇඳුම් මහන්නේ ජීවත් වෙන අයට. ඒත් මගේ අතින් නිම වෙන්නේ අවසන් ගමන යන අයගෙ ඇඳුම්. ඇඳුම මොනතරම් හැඩට මැහුවත්, විශේෂයෙන්ම ‍පොඩි දරුවෙක්, තරුණ ළමයෙක්ගේ අවමඟුලට ඇඳුමක් මැහුවම හිතට දැනෙන්නෙ වේදනාවක් මල්ලිකා තම අත්දැකීම් අප හමුවේ පැවැසුවේ සුසුමකින් ළය සැහැල්ලු කරගනිමිනි.
මීගමුව මුන්නක්කරය පැත්තේ ‘මල්ලිකා ටේලර්ස්’ නමින් තම කුඩා ඇඳුම් සාප්පුව පවත්වාගෙන යන මල්ලිකා කොමිස්ටර් අවමඟුල් ඇඳුම් මැසීම පිළිබඳ හොඳ ප්‍රසිද්ධියක් ලැබූ තැනැත්තියකි.එහෙත් ඒ සාර්ථකත්වය කරා ළඟාවන්නට ඇයට ජීවිතයේ බොහෝ දෑ කැප කරන්නට සිදුවිය.
වැඩි දෙනෙක් ජීවිතේ සාර්ථක කරගන්නේ තමන්ගේ ‘හැකියාවන්’ හින්දයි. ඒත් මම මගේ ජීවිතය ජයගත්තේ මගේ ‘නොහැකියාව’ හේතුවෙන්. මල්ලිකා තමා ආ මග පිළිබඳ ආවර්ජනයකට පිවිසුණාය.
මගේ අම්මා ඇඳුම් මහන්න හරිම හපන්. ඒ හින්දා මටත් මහන්න පුළුවන් කියලා හිතන් මමත් කුලියට මහන්න පටන්ගත්තා.තමා මැසූ ඇඳුම රැගෙන යන බොහෝ දෙනෙකු ආපසු ආවේ ඇඳුමේ අඩුපාඩු පිළිබඳ මැසිවිලි, දෝෂාරෝපණද සමගිනි. එක්කෝ කමීසයේ කොළරය ඇදය. නැත්නම් ගවුම මසා ඇත්තේ හිරටය, ඇතැමෙකු මසාගෙන ගිය ඇඳුමේ අඩුපාඩු ගැන කුපිත වී බැනවදිද්දී මල්ලිකාට තවත් කුළියට මැසීම එපාවිනි.
එහෙත් ඒ ගැන කලකිරී සියල්ල අතහැර දැමීමට නොසිතූ ඇයට අපූරු අදහසක් පහළවිනි.මහපු ඇඳුම්වල අඩුපාඩු ගැන කියලා සමහරු මුහුණටම බනිද්දි මේ මොන කෙහෙල්මලක්ද? කියලා හිතුණා. එක අතකට පණ තියෙන මිනිස්සුන්ට වඩා මගේ මේ බැරිකමක් එක්ක මැරිච්ච මිනිස්සුන්ට ඇඳුම් මහන්න පුළුවන්නම් කියන අදහස ඔළුවට ආව හින්දා අන්තිමට මම ඒ වැඩේට ඇතගැහුවා.
මේ වන විට ආර්ථිකය හොඳටම ගරා වැටී. එදා වේල ගැටගසාගැනීමත් මහ මෙරක් තරමට විශාල ගැටලුවක්ව තිබුණෙත් දෙවරක් සිත්නනට පමා නොවූ ඕ තම ප්‍රථම පියවර තබන්නට කඩිනම් වූවාය. ඒ මිනී ඇඳුම් මසා මල් ශාලාවලට දැමීමය.වැඩේ එතරම්ම නරක් වූයේ නැත. එහෙත් මඳ කලක් යනවිට මැහිල්ලෙන් හෙම්බත්ව සිටි ඇයට දැන් ඉතින් අප වයසයි. තවත් මොනවා කරන්නදැයි? සිතුණි. ඔය අතරේ එක්තරා ආයතනයක් මගින් සංවිධානය කළ නායකත්ව වැඩමුළුවකට සහභාගි වීමට ලද අවස්ථාව ඇගේ පසුබැසීමට හොඳ ඖෂධයක් බඳු විය.
වයසට යාමෙන් වළකින්න රාජාලියා තම හොට හා නිය කඩා ගන්නා හැටි ගැන ඇසූ කතාව ඇගේ ජීවිතයට නව පන්නරයක් ගෙන ඒමට සමත්ව තිබිණි.
හරියට උකුස්සාට දුර පෙනෙන්නාක් මෙන්, ජීවිතයේ දුර දැකීමට ලද පන්නරය සමග තම ඉලක්කය කරා ළඟාවන්නට ඈ තරයේම සිතට ගත්තාය.පළමු පියවර ලෙස ණයක් ලබාගෙන ජුකී මැෂින් දෙකක් මිලට ගත් ඕ තම මිතුරියන් දෙදෙනෙකු සේවයට යොදවාගෙන වැඩ ආරම්භ කළාය.මුලින්ම අපි මැහුවේ ජාතික ඇඳුම විතරයි. ඊට පස්සේ යාළුවෙකුගේ මහත්තයෙක්ගේ මඟුල් කෝට් එක ඉල්ලගෙන ඒක ලිහලා බිම එළාගෙන පතොරම සදාගෙන කෝට් මහන්න පටන් ගත්තා.
ජීවත් වන්නවුන්ට ඇඳුම් මසා බැනුම් ඇසූ මල්ලිකාට ඈ මිය ගිය වුන්ගේ අවසන් ගමනට මැසූ ඇඳුම් ගැන කිසිදු චෝදනාවක් එල්ල වූයේ නැත.එහෙත් ඇගේ අතින් නිම වෙන්නේ මියගියෙකුගේ වත සරසන ඇඳුමක් බැවින් මේ ගැහැනිය දැකීමත් අසුබ නිමිත්තක් යැයි සිතූ ඇතැම් අය ඇයව දුටුවිට නොදන්නා තාලයට මඟහැර යන්නට පටන් ගත්තෝය.
සමහරු අපිව දැක්කම හරියට ලාදුරු රෝගීයෙක් දැක්ක වගේ ඈතට වෙද්දී හිතට දැනුනේ ලොකු වේදනාවක්. ඉස්සර ගමේ කොටහළුවක්, මඟුලක් වුණොත් නොවැරදීම ආරාධනා ලැබුණත් මිනී ඇඳුම් මහන්න ගත්තට පස්සේ කිසිම සුබ දේකට ආරාධනා ලැබුණේ නැහැ. ගමේ කවුරු හරි අසනීප වුණොත් ලෙඩාව බලන්න යන එක අපේ පුරුද්දක්. ඒත් අපි ලෙඩෙක් බලන්න ගියොත් මිනියට ඇඳුම් මහන්න මිම්ම ගන්න ඇවිත්… කියලා සමහරු බය වුණා. සමහරු පිළිකුල් කළා. අපි කැමති වුණේ නැහැ.
ඉපදුණු සෑම කෙනෙකුම කෙදිනක හෝ මියැදීම ජීවිතයේ නියතයකි. මේ නියතය අවබෝධ කරගත් බටහිර සමාජයේ බොහොමයක් ජීවත්ව සිටියදී තම අවමඟුල සංවිධානය කරති. අවමංඟුලට එනවුන්ට සංග්‍රහයට කැවිළි තෝරති. අනෙකක් තබා මිනී පෙට්ටියට මුදල් ගෙවන්නට යුහුසුළු වෙති. තමාගේම අවමඟුලට දින නොදමා ආරාධනාවක් සකසති. එහෙත් ‘මිනී පෙට්ටියක්’ දැකීම පවා අසුබ නිමිත්තක් ලෙස සලකනවුන් සිටින සමාජයක මල්ලිකාට තම කුඩා ව්‍යාපාරය සැබවින්ම අභියෝගයක්ව තිබුණද ඈ එය අත්හරින්නට නොසිතුවාය.
ඒ දවස්වල අපේ ගමේ හුඟක් දෙනෙක් මැරුණහම වැළලුවේ ඒ කෙනාගේ තිබුණු ඇඳුමක් අන්දවලා. ඒත් අඩුම ගණනෙ අවසන් ගමන යද්දීවත් ලස්සනට යන එක හොඳ නැද්ද? කියන අදහස මම හුඟ දෙනෙක්ගේ හිත්වලට දැම්මා. මම මේ පුංචි ව්‍යාපාරේ පටන්ගත්තේ මැරුණු අයට පරණ කඩමළු නොඅන්දා ලස්සන ඇඳුමක් අන්දවලා අන්තිම ගමන යවන්නයි කියල. මම ඒ අයට පැහැදිලි කළාට පස්සේ ඒ අය අපි දිහා බලපු විදිය වෙනස් වෙන්නත් පටන් ගත්තා. දැන් ගමේ ඕනෙම විශේෂ දේකට අනිවාර්යයෙන් මට ආරාධනා ලැබෙනවා.ගමේ කෙනෙක් මැරුණොත් අනිවාර්යයෙන්ම අවසන් ගමන් යන්නේ මම මහපු ඇඳුමකින් සැරසිලයි. මල්ලිකා පැවැසුයේ තම කාර්යය පිළිබඳ තෘප්තිමත් බවකින් යුතුවය.

මල්ලිකා ටේලර්ස් හි මිනී ඇඳුම් මසන අය අතරින් ඇතැමෙකු කනවැද්දුම්ය. ඇතැමෙකු අවිවාහකව වියපත් වූවන්ය. ජීවිතයේ ඉතිරි කාලය තනිව සුසුම්ලනවාට වඩා ප්‍රයෝජනවත් කාර්යයක නිරතවී අන් අය සමග සතුටින් ගෙවා දමන්නට ඔවුනට ඉඩ සැලසීමේ ඔවුන් සේවයට බඳවාගැනීමේ අරමුණ බැව් මල්ලිකා පවසන්නීය.තමන්ගේ ව්‍යාපාරය, රැකියාවේ පළ වූ දිනය, පිළිබඳ බොහෝ දෙනෙකුට ඇත්තේ සුන්දර මතක සටහන්ය. එහෙත් මල්ලිකාට එය එසේ සිදු නොවුණි.
ඉස්ඉස්සෙලාම මට මහන්න වුණේ පුංචි දරු පැටියෙකුගේ අවමඟුල් ඇඳුමක්. මට එදා හිත වාවන්නේ නැතිව ගියා ලස්සන සුදු ගවුම පබළුවලින් හැඩ කළ ඕ දේවදූතයෙකුට මෙන් තටු දෙකක්ද මසා අවසන් කළේ දෙකොපුල් දිගේ කඳුලු වැල් කඩා හැලෙන්නට ඉඩ හරිමිනි.ඇතැම් විට ‍පොඩි දරුවෙක්, තරුණ ළමයෙක්ගේ මිනියකට ඇඳුම් මහන්නට එන ඥාතීන්, ඇඳුම මසා නිම වෙන තුරු හඬමින්, අසලට වී සිටිදදී, මැසීම පසෙක තබා මල්ලිකා ඔවුනගේ සිත සනසන්නට කිසිවක් කියා, මුහුණ කට හෝදාගන්නට ඉඩ හැර, කෝපි කෝප්පයකින් සංග්‍රහ කරන්නේ මනුසත් බව පෙරදැරි කොටගෙනය.
කසාද බඳින වයසේ තරුණ ගෑණු ළමයෙක්ගේ මිනියට ලස්සන සාරියක් ඇන්දවලා මනමාලියෙක්ගේ වගේ වේල් ‍පොටකින් මුහුණ වසනවා. තරුණ පිරිමි ළමයෙක් මැරුණොත් මහන්නේ ක්‍රීම් පාට, නිල් පාට වගේ රෙද්දකින්… අවසන් ගමන් යන විට අලංකාර ලෙස සැරසවීමෙන්, මියගිය වුන්ගේ වැඩිහිටි, ඥාතීන් සිත මදකින් හෝ සැනසෙන බැව් මල්ලිකා තම අත්දැකීමෙන් දනීය.ඉස්කෝ‍ලේ යද්දීවත්, ජීවිතේ මේස් නොදාපු සමහර උදවිය අන්තිම ගමන ෆුල් කිට් ඇඳලා, මේස් දාලා, අලංකාරයට යන හැටි දැක්කම ඒක මගෙත් හිතටත් සතුටක්.
කොහොම වුණත් තමන්ගෙන් අවමංගල ඇඳුමක් මසාගන්නට පැමිණෙන යමෙකුට මුදල් අඩුපාඩුවක් ඇතැයි දැනුණොත්, විශේෂයෙන්ම ඒ ගමේ කෙනෙකු නම්, මල්ලිකා එවැන්නවුන්ට තම සේවය නොමි‍ලේ සපයනු විනා මුදල් අයකිරීමට නොසිතන්නීය.මල්ලිකා තම කුඩා ව්‍යාපාරයට අත ගසද්දී.ඇයට විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදු වූවා පමණක් නොව. විවිධ අපූරු අත්දැකීම් රැසකටම මුහුණ පෑමට ඇයට සිදුව තිබිණි.
දිනක් මිනියකට ඇඳුමක් මසන්නට මිම්ම ගැනීමට යාමට සිදුවූයේ කළුවර වැටෙන්නට ආසන්නව තිබියදීය. එදා ඇගේ සැමියාද නිවසින් බැහැර ගොස් සිටි දිනකි. ස්කූටියට නැගුන මල්ලිකා මල් ශාලාවට ගොස් මියගිය තැනැත්තාගේ මිම්ම ගෙන ආපසු එන්නට පිටත් වන විට මධ්‍යම රාත්‍රියද එළඹෙමින් තිබුණු අතර මීගමුව නගරය ආසන්නයට එන විට තෙල් ඉවරවී බයිසිකලය මහ පාරේම පණ අදින්නට විය.
මම ගෙදරින් ආවේ නාල කොණ්ඩෙත් කඩලා දාලා. වේලාව රෑ දොළහට විතර ඇති. මම තක්කු මුක්කු වෙලා බලද්දී ඔක්කොම කඩ වහලා එක කඩේක විතරක් දොර ලෑල්ල වහනවා, අරිනවා. ආයෙත් වහනවා.දැන් ඉතින් මොන දෙවියන්ට කියන්න දැයි සිතමින් සිටින අතර හදිසියේම ‍පොලිස් රියක් ඈ අසලින්ම තිරිංග තද කර ‘ක්‍රිස්’ හඬ නංවමින් නතර කෙරිණි.මොකද ගෑනියේ මේ මහ රෑ මෙතන කරන්නෙ… කොහෙද ගියේ? ‍පොලිස් රාළහාමි ගෝරනාඩු නගද්දී මල්ලිකා තමාට වූ ඇබැද්දිය විස්තර කළාය. මම කොණ්ඩෙත් කඩාගෙන හිටියේ මිනියක මෙෂර්මන්ට ගන්න ගියා කිව්වම, රාළහාමි ටෝරච් එක ගහලා මගේ කකුල් දිහා බැළුවේ ඇත්තටම ගෑනියෙක්ද? අවතාරයක්ද? කියලා හිතාගන්න බැරුව වගේ.
කෙසේ හෝ අසළ තිබූ ආයතනයක ආරක්ෂක නිලධාරියෙකු පරිත්‍යාග කළ පෙට්‍රල් ටිකකින් මල්ලිකා ගෙදර ගියේ දෙවියන්ට ස්තූති කරමිනි.ඊළඟ දවසේ සාප්පුව අරින්නට යන විට පෙට්‍රල් ලබාදුන් ආරක්ෂක නිලධාරියා එතැනය. කළ උපකාරයට ස්තුති කරමින් වාඩි වෙනනට ඇරයුම් කළ විට එය ප්‍රතික්ෂේප කළ ඔහු පැවැසුවේ අපූරු කතාවකි.මම මේ ආවෙ… ඊයේ සිද්ධිය ගෙදර ගිහින් කිව්වහම මගේ නෝනාගෙන් කරදරේ… ඇත්තටම ඔහොම සාප්පුවක් තියෙනවද? ඔය කියපු විදිහෙ ගෑනු කෙනෙක් ඉන්නවද? කියල… බලා ඉක්මනට එන්න කියලා. ඒකයි මම මේ තකහනියක්ම ආවේ යැයි… ඔහු පැවැසුවේ සැනසුම් සුසුමක් හෙළමිනි.
මම හිතන්නේ ඒ ගොල්ලොත් හිතලා තියෙන්නේ මම හොල්මනක් කියලා. අර කඩේ හිටපු මනුස්සයා දොර ලෑල්ල වහ වහා ඇරියෙත් මට බයවෙලාද කොහෙද? ‍පොලීසියට කෝල් කරන්න ඇත්තෙත් ඒ අය වෙන්න ඕනේ. මල්ලිකා පැවැසුයේ සිනහ නගමිනි.මල්ලිකාගේ රැකියාවට දවල්, රෑ කියා වෙනසක් නැත. පණිවුඩයක් ආ සැණින් මිනී ඇඳුමට මිම්ම ගැනීමට යා යුතුව තිබිණි. දිනක් මිම්ම ගන්නට අවමඟුල් ශාලාවක එම්බාම් කරන කොටසට ගිය ඇයට දුටු දසුනින් හීන් දාඩිය දැම්මේය. ගෑනු කෙනෙක් මිනියක් ටේ‍රාලියේ බාවලා දිග කොණ්ඩෙ ටේ‍රාලියෙන් පහළට එල්ලෙනවා. ඔලු කට්ට සම්පූර්ණයෙන්ම ගලවලා. හරියට සව් ගුලියක් වගේ තමයි දැක්කෙ. මම බයවෙච්ච පාර උගුර කට වේලුණා. අනිත් පැත්ත හැරිලා දුවන්න හැදුවා… ඒ පැත්තෙන් ඒ වගේම මිනියක්… මිම්ම ගැනිල්ල පසෙක තැබූ මල්ලිකා වහා එළියට පැනගත් අතර ගෙදර යන විට සහළවා උණ ගැනී තිබිණි.
ඇගේ අත්දැකීමේ හැටියට ජීවත්ව සිටියදී ඇතැමුන් දෙස ඇහැක් අර බලන්නට අයෙකු නැති වුවත් මිය ගිය පසු අයිතිකරුවෝ බොහොමයකි. සමහරු මිය ගිය තැනැත්තාගේ මිනියට ගැළපෙන ඇඳුම මසා ගන්නට ‍පොර කා ගනිති… ඔන්න එක්කෙනක් ඇවිත් මිනියට ඇඳුම මසාගෙන යනවා තව ටිකකින් තව කෙනෙක් එනවා… ඒ රෙද්ද හොඳ මදි…. මෙන්න මේ රෙද්දෙන් ලස්සන ඇඳුමක් මහන්න කියලා. එවැනි විටක… ඥාතීන් අතර අර්බුද ඇති වීම වැළැක්වීමට එවැනි ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කිරීම මල්ලිකාගේ සිරිතය.කෙසේ වුවත් වසර ගණනාවක් තිස්සේ කුඩා ව්‍යාපාරයක් ලෙසින් පවත්වාගෙන යන ”මල්ලිකා ටේලර්ස් මල්ලිකාට පමණක් නොව එහි සේවයේ නියුතු කිහිප දෙනාටද ආශිර්වාදයක් වී ඇත.
කවදා හෝ අනුන්ට යටත් නොවී, පුංචියට හෝ… තමන්ගේම කියා ආදායම් මාර්ගයක් ගොඩනගා ගැනීම ඇගේ ‘සිහින සේප්පුවේ’ කුඩා කළ සිට තිබූ එක් සිහිනයකි. අද එය යථාර්ථයක් වී ඇත. කවදා හෝ ශුද්ධ වූ දේශය බැහැ දකින්නට මැවූ සිහිනයද ඇයට ඉටු කර ගැනීමට හැකිවිය.අපි හැම දෙයක් ගැනම සුබවාදීව බලන්න ඕනේ. හොඳ දේවල් කතා කරන්න ඕනේ. මගේ මැෂිම් දෙක තුනේ වැඩ කරන හැම කෙනෙක්ම ඉන්නේ සතුටින්. හේතුව අනුන් ගැන ඕපදූප කිය කියා අනුන්ගේ කිළුටු හෝදන්න තහනම්. ඕනේ නම් හොඳක් ගැන කතා කරන්න පුළුවන්. අනික අපේ සේවය පැය අටකට සීමාවී නැහැ… ඕනෙම වෙලාවක පණිවුඩයක් ලැබුණොත් විනාඩි හතළිස් පහෙන් ඇඳුම දෙන්න පුළුවන් වෙන් ඕනේ… මල්ලිකා එදා මෙදා තුර අද සාර්ථකත්වය කරා ළඟා කරවූ රහස අනාවරණය කරන්නට වූයේ එලෙසිනි.
නිලංකා ජයසූරිය – ලක්බිම

No comments