Breaking News

දෙමළ ජනතාවට යුක්තිය ලබාදීම : බ්‍රිතාන්‍ය විපක්ෂයේ ඡන්ද පොරොන්දුවක්

feature-top

ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීම ඇතුළු දෙමළ අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා කටයුතු කිරීම  තම නායකත්වයෙන් යුත් අනාගත ලේබර් ආණ්ඩුවක විදේශ ප්‍රතිපත්තියට අඩංගු කරගන්නා බවට බ්‍රිතාන්‍ය විපක්ෂ නායකයා ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම වසර නමයක් තිස්සේත් ප්‍රමාද කරමින් සිටින ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ප්‍රබල පණිවිඩයක් දෙමින් විපක්ෂ නායක ජෙරමි කෝර්බින් බ්‍රිතාන්‍යයේ අනාගත අගමැති වීමේ හැකියාව සම්බන්ධයෙන් පළකලේ මහත් විශ්වාසයකි.

“ඉතාමත් ඉක්මනින්” මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ අපේක්ෂා පලකළ විපක්ෂ නායකයා දෙමළ ජනතාවගේ ස්වයංතීරණ අයිතිය ඇතුළු හිමිකම් ඉදිරියේ එන සියලු මහ මැතිවරණ වල දී තම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුලත් කරන බවට ලන්ඩනයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පවත්වන ලද මුල්ලිවයික්කාල් සමරුවකදී පොරොන්දු විය.

ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් දිවි තොරවුවන් වෙනුවෙන් “ලේබර් පක්ෂය සඳහා දෙමළ” විසින් සමරුව සංවිධානය කර තිබුනි.

“මානව හිමිකම් යන්න ලෝකය පුරා අපේ මුරපදය බවට පත් කර ගන්නා ආණ්ඩුවක නායකත්වය දැරීමට මම අදිටන් කරගෙන සිටිමි,” යි ලේබර් නායක ජෙරමි කෝර්බින් එහිදී කියා සිටියේය.

දෙමල ප්‍රශ්නය ප්‍රතිපත්ති ප්‍රකාශනයට:

ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද පරිදි, ශ්‍රී ලංකා රාජ්‍යය විසින් සිදු කර ඇති වර්ග සංහාරය, යුද අපරාධ, මානව වර්ගයාට එරෙහි අපරාධ සහ වෙනත් ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිශ්චය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම, දෙමළ ජනතාවගේ ස්වයංතීරණ අයිතිය පිළිගන්නා දේශපාලන විසඳුමක් සහ උතුරෙන් හමුදාව ඉවත් කිරීම ලේබර් පක්ෂය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙතට ඇතුලත් වනු ඇත.

“ලේබර් පක්ෂය මේ කාරණා මැනවින් වටහාගෙන සිටින අතර ඒවා ඔනෑම මහ මැතිවරණයකදී අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුල් කරන බවට සහතිකයක් මම ඔබට ලබාදෙමි.”

සැබෑ ජාත්‍යන්තරවාදී පක්ෂයක් වන ලේබර් පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදනයේදී බ්‍රිතාන්‍යවාසී දෙමළ ජනතාව දරා ඇති දායකත්වය සුවිශාල ලෙස හැඳින්වූ විපක්ෂ නායක ජෙරමි කෝර්බින් මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා වෙනත් රටවලට බලපෑම් කිරීමේ “ශක්තිමත් ස්ථානයක” බ්‍රිතාන්‍යය ඉන්නා බවට අවධාරණය කළේය.

හිතුමතේ රඳවා තබාගැනීම්, වධබන්ධන සහ  මානව හිමිකම් උල්ලංඝන පිළිබඳ විමර්ශන සහතික කරවීම සඳහා ලේබර් රජය ඒ ඒ රටවලට දූත මණ්ඩල යැවීමේ අපේක්ෂාවද පල කර සිටි ඔහු “මේ රට හෝ ලෝකය හෝ මේ විදියට තව දුරටත් යන්න දෙන්න බෑ,” යි අනතුරු ඇඟවීය.


(under the courtesy of srilankamirror.lk news web)

No comments