අවුරුදු දෙදහස් පන්සීයකට පසුව ලංකාවේ අෂ්ටඵල බෝධියක් පහළ වෙයි! | Reporter අවුරුදු දෙදහස් පන්සීයකට පසුව ලංකාවේ අෂ්ටඵල බෝධියක් පහළ වෙයි! - Reporter

Breaking News

අවුරුදු දෙදහස් පන්සීයකට පසුව ලංකාවේ අෂ්ටඵල බෝධියක් පහළ වෙයි!

අෂ්ටඵල බෝධින් වහන්සේ නමක්‌ දැක ගැනීමේ දුර්ලභ අවස්‌ථාව සියෑසින් දකිමින් හිඳිමි.

එම දසුන නෙත ගැටීම තුළ පවා ඇත්තේ සිත සාධු සිතුවිල්ලෙන් පිරීයන හැඟ මක්‌ය.

ඉතිහාසය නැවත නැවතත් ප්‍රතිනිර්මාණය වන්නක්‌ බැවින් සියවස්‌ ගණනාවකට පසු මේ යථාවක්‌ බවට පත්ව ඇත්තේ එහෙව් ඉතිහාසය වත්මන් පිළිඹුවක්‌ මැයි යනුවෙන් බැහැර කළ නොහැකි අයුරින් සිත තුළ ප්‍රශ්නාර්ථයක්‌ ලියලමින් පවතියි.

මේ කියන්නට යන පින් බිමත් එබිම මත සිදුවෙමින් පවතින අසිරිමත් සිදුවීම් රැසත් දැක බලා ගැනීමේ අටියෙන් ඉකුත් දිනක එම පුණ්‍ය භූමිය වෙත පිවිසීමේ අවස්‌ථාවක්‌ උදාවිය. එබිම වෙත පිවිසීම තුළ පවා හට ගන්නේ බැතිබර සිතුවිලිය.

තැන තැන කුඩා සාමණේරයන් වහන්සේලා පොත පත වනපොත් කරන අයුරු දකින දෑස එක පැහැර වෙනතක ගත නොහැකිසේය. දකිමින් හිඳින දසුන එතරම් පින් බරය. අවට පරිසරයේ දකින්නට ලැබෙන පිළිවෙළ හා පිරිසිදු බවද ඒ ආකාරයෙන්මය. සියල්ල සිදු වෙමින් පවතින්නේ කිසිවෙකුගේ පෙළඹවීම මත හෝ අණ කිරීමකින් තොරවය.

වසර දෙදහස්‌ පන්සියයකට වඩා ඉපැරණි බෞද්ධ ඉතිහාසයක්‌ සහිත ලක්‌බිම කලෙකින් කලාතුරකින් පහළ වන අෂ්ටඵල බෝධීන් වහන්සේ නමක්‌ පහළව ඇති මෙම පුදබිම නාම ගන්වා ඇත්තේ “සාමණේර ආකල්ප සංවර්ධන භික්‌ෂු විද්‍යාලය යෝගාශ්‍රම විහාරය – පාතේගම බලපිටිය” යනුවෙන්ය. සැබැවින්ම එය යථාවක්‌ බවට හැඟී යන්නේ යෝගාශ්‍රම විහාරයත්, එහි සිදුවෙමින් පවතින දෙයත් දෑසින් දකින විටය.

ඉතාමත් කෙටි කලක්‌ තුළ දහස්‌ ගණනින් යුත් බැතිමතුන් වෙත සෙත ශාන්තිය උදාකළ විස්‌මිත පින්බිමේ නිර්මාතෘ වන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය (සමාජයීය විද්‍යාපති) බ්‍රහ්මණ වත්තේ විමලවාසතිස්‌ස නාහිමියන්ය.
ඇවතුමෙන් පැවතුමෙන් සංවර උගත් විනය ධර හිමි නමක්‌ වන උන්වහන්සේ සිය මෙහෙවර හා ඒ හරහා සැබෑ කිරීමට අපේක්‍ෂිත අරමුණු පිළිබඳ මූලික හැඳින්වීමක්‌ සිදු කරමින් අප හා කතා බහට එක්‌විය. දින වකවානු සහිතව අතීත පුරාවෘත්තයක්‌ මෙනෙහි කරමින් උන්වහන්සේ අදහස්‌ දක්‌වන්නට වූ අතර ශාන්ත වූත් මිහිරිවූත් උන්වන්සේගේ කටහඬ අසා සිටීම තුළ පවා ඇත්තේ සිත තුළ පහන් සිතුවිලි උපදවන සුළු හැඟීමක්‌ය.

“මුලින්ම සඳහන් කරන්න ඕන කාරණය තමයි අපි මේ ගත කරමින් සිටින මොහොත. එහෙමත් නැත්නම් වර්තමාන කාලය කියන්නෙ ආගමික වශයෙන් පෙනෙන නොපෙනෙන සියල්ල තර්ජනයකට ලක්‌වෙලා තිබෙන මොහොතක්‌. ආගමික මතිමතාන්තර විවේචනය කරන අයත් ඒවා අසා සිටින අයත් අපේ ආගමික පුරාවෘත්ත පිළිබඳ අවබෝධයකින් කටයුතු කරන්නේ නැහැ කියන එක හරිම පැහැදිලිව පේන්න තිබෙන කරුණක්‌.

එහෙම පුරාවෘත්තයන් තුළ ඉඳගෙන ඒවා විමර්ශනය කරල පරිශීලනය කරල ප්‍රවේශයක්‌ ගත්ත නම් මේ වර්තමාන මොහොත වන විට සිද්ධ වෙන බොහොම පහත් විවේචන මේ ආකාරයෙන් සිද්ධ වෙන්නෙ නෑ කියල මුලින්ම මතක්‌ කර සිටින්න ඕන.”

දිගු කතාබහක්‌ සඳහා මුල පිරීම පිණිස උන්වහන්සේ විසින් ඉහත සඳහන් ප්‍රවේශය ලබා ගත් අතර අපගේ කතාබහේ මූලික හරය වූයේ අශ්ටඵල බෝධීන් වහන්සේ නමක්‌ බිහිවීම හා ඒ හා බැඳුණු පුරාවෘත්තයන් පිළිබඳ සැබෑ තතු රට හමුවේ හෙළිදරව් කිරීමය. ඉතිහාසය අමතක කොට නොඑසේ නම් ඉන් පරිබාහිරව එය කිසිසේත් කළ නොහැක්‌කේ බැවින් යළිත් උන්වහන්සේ අතීතය සතුව පවතින සිරිමත් මතක වෙත අපව කැඳවන්නට විය.

“බෝධියාගමනය පිළිබඳව ගත්තොත් අපේ හෙළ සංස්‌කෘතියේ ඒ වගේම හෙළ අභිමානයේ බෞද්ධ ආගමේ තිබෙන විශිෂ්ටම ආමිස පූජාව සිද්ධ කරන පූජා වස්‌තුව බවට පත්වන්නේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේය. ආගම් භේදයකින් තොරව සියල්ලෝම එයට ගෞරව කරනවා.

මෙන්ම මේ පූජනීය වස්‌තුව තමයි බුදුරජාණන් වහන්සේට පිහිට වුණේ. ඒ සම්බන්ධවත් ඊට පසුවත් සිද්ධ වුණ බොහෝ දේ ලියවුණ ග්‍රන්ථයක්‌ තමයි බෝධි වංශය කියන්නෙ. මෙන්න මේ ග්‍රන්ථය කවුරු හරි කෙනෙක්‌ මුල සිට අග දක්‌වා අවබෝධයෙන් යුතුව කියවනවා නම් කිසිවෙක්‌ මේ කිසිවක්‌ ගැන විවේචනය කරන්නෙ නෑ.”

“මොකද එක්‌තරා අවස්‌ථාවක බුදුන් වහන්සේ විසින් අධිෂ්ඨාන පහක්‌ කරල තිබෙනවා. ඉන් තුනක්‌ම සිද්ධ කරල තිබෙන්නෙ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සම්බන්ධ කරගෙනයි.”

“ඉන් එක්‌ අධිෂ්ඨානයක්‌ තමයි ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව ප්‍රාතිහාර්යක්‌ මගින් රත්තරන් කටාරමක තැන්පත් වෙන්න ඕන කියන එක. දෙවැනි අධිෂ්ඨානය වෙන්නෙ ඉක්‌බිත්තෙන් පාත්‍රයෙන් හා ඵලයෙන් සවනක්‌ රැස්‌ විහිදේවායි කියන එක. තෙවැනි අධිෂ්ඨානය තමයි මහා බෝධිය වළා ගැබක්‌ මත සතියක්‌ මුළුල්ලේ විහිදේවායි කියන අධිෂ්ඨානය

නමුත් මේ වන විට මේ කාරණා ඇතැමුන්ගේ හාස්‍යයට ලක්‌ වෙලා තිබෙන්න පුළුවන්. හැබැයි මම ඉහත සඳහන් කළ ප්‍රාතිහාර්යන් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙලා තිබෙනවා මෙන්ම මේවට තමයි මහා ප්‍රාතිහාර්යයන් කියල කියන්නෙ.

ස්‌වභාව දහමේ පවතින අනන්ත ශක්‌ති කදම්බයක්‌ බුදුන් වහන්සේගේ පැවැති මහා අධිෂ්ඨානයත් එකට මුහුවීමෙන් මේ දේවල් සිදුවෙලා තිබෙනවා. සිත් පිත් නැති වෘක්‌ෂයකට පුළුවන් වෙනවා බුදු සිත කියවන්න”

” ශ්‍රී මහා බෝධීන් වහන්සේ විසින් එකල සිදු කළ මහා ප්‍රාතිහාර්ය එකල භාරතයේ රජකම් කළ ධර්මාශෝක රජතුමා දකිනවා. ඒ පිළිබඳව පැහැදිළි මුළු ජම්බුද්වීපයම බුදු සසුනට පූජා කරනවා. මම ඉල්ලීමක්‌ කරනවා සිංහල බෝධි වංශය හැම බෞද්ධයෙක්‌ම කියවන්න. ඒ ග්‍රන්ථයේ මේ සියලු කාරණා සඳහන් වෙලා තිබෙනවා.

ඊට පස්‌සෙ සිද්ධ වෙන්නෙ මොකක්‌ද මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව මෙරටට වඩම්වන වෙලාවේ ධර්මාශෝක අධිරාජ්‍යා තමන්ගෙ රට වැසියන්ට අණ කරනවා දක්‌ෂිණ ශාඛාව රැගත් නෞකාව මහා සමුද්‍රයෙහි නොපෙනී යන දුර තෙක්‌ දොහොත් මුදුනත් තබා ඊට වන්දනා මාන කරන්න කියලා.”

“එහෙමයි උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‌ෂිණ ශාඛාව ලංකාවට වැඩම කර වන්නෙ. ඉන් අනතුරුව සිද්ධ වෙච්ච ප්‍රාතිහාර්යයන් රැසක්‌ පිළිබදවත් ඉතිහාස ග්‍රන්ථවල ඉතාමත් පැහැදිලිව සදහන් වෙලා තිබෙනව.

මහා බෝධියෙ දක්‌ෂිණ ශාඛාව මහමෙව්නා උයනේ රෝපණය කළාට පස්‌සෙ නැගෙනහිර දිශාවට විහිදුණ අත්තකින් ගත් ඵලයක්‌ දේවානම්පියතිස්‌ස රජුට දෙන තෙරුන් වහන්සේ “මහ රජුනි, මෙය පූජා කරනු මැනැවැයි පැවැසීය. එවේලෙහි සියල්ලන් බලා සිටියදී හතර රියනකින් යුත් අෂ්ටඵල බෝධීන් වහන්සේ හට ගත්හ” යනුවෙන් හරි අපූරුවට ඉතිහාසයේ සදහන් වෙලා තිබෙනව.”

“ඒ හින්ද මේ කියන කිසිවක්‌ සිද්ධ වුණේ නෑ කියලා කිසිවකුට කියන්න පුළුවන්කමක්‌ නෑ. මම හොද උදාහරණයක්‌ දෙන්නම්. මුහුද ගොඩ ගලනව කියන කථාව 2004 වර්ෂය දක්‌වා අපට විහිළුවක්‌. අන්තිමට මුහුද ගොඩට ආවා නේද ?”

දිගු ඉතිහාසයක්‌ සැකෙවින් විස්‌තර කළ බ්‍රාහ්මණවත්තේ විමලවාසතිස්‌ස හිමිපාණන් ඉන් අනතුරුව උන්වහන්සේ වැඩ වාසය කරමින් හිදින බලපිටිය පාතේගම යෝගාශ්‍රම විහාරයත්, ඒ හරහා සිද්ධ කරමින් පවතින ආගමික ශාසනික හා සමාජ මෙහෙවර පිළිබදව අප හා අදහස්‌ පවසන්නට විය.

එහි සිදු වෙමින් පවතින දැ සියෑසින් දකිමින් හිදින අපට උන්වහන්සේගේ පැහැදිලි කිරීම හරහා එහි සිදුවෙමින් පවතින දැ පිළිබදව වඩාත් නිවැරැදි අවබෝධයක්‌ ලබා ගත හැකි විය.

“මේ ස්‌ථානය කියන්නෙ සතර දිගින් පැමිණෙන සැදැහැවතුන්ට සෙත ශාන්තිය සලසන තැනක්‌. මම තදින්ම විශ්වාස කළ සහ දිගින් දිගටම විශ්වාස කරන කාරණයක්‌ තමයි මේ විශ්වය අපව ආරක්‌ෂා කරනව කියන කාරණය.

මම එහෙම කියන්නෙ මේ වන විට මා විසින් අවබෝධ කොට ගෙන තිබෙන සත්‍යයක්‌ මත පිහිටලයි කියලත් මතක්‌ කර සිටින්න ඕන. එතැනදී මේ පූජා භූමියේ නිදුකින් වැඩ වාසය කරන අෂ්ටඵල බෝධීන් වහන්සේ පිළිබද වැඩි යමක්‌ පවසන්න සිද්ධ වෙනවා.

අෂ්ටඵල බෝධීන් වහන්සේ නමක්‌ කියන්නේ එක මූල මණ්‌ඩලයක්‌ තුළින් පෝෂණය වන බෝධීන් වහන්සේලා අට නමකට කියන කාරණය පිළිබදව මම ඉහත සදහන් කළ ඉතිහාසයේ ලියවිල තිබෙනවනෙ.

බෝධීන් වහන්සේ හට ගත්තට පස්‌සේ එය ප්‍රාදේශීයව රෝපණය කිරීම පිණිස වෙන් කරන ලද බවත් එහි සදහන් වෙනවා. ඒක හොදයි. එය එකල හැටියට බුදු දහම ව්‍යාප්ත කිරීමේ අරමුණින් මහා සංඝරත්නය ඇතුළු රජ දරුවන් ගත් තීරණයක්‌ වෙන්න ඇති.

“අෂ්ටඵල බෝධීන් වහන්සේ නමක්‌ පහල වීම කියන්නෙ දුර්ලභ සිදු වීමක්‌. එදා ඒ දේ සිද්ධ වුණා. අද වන විට මේ ස්‌ථානයේ නැවත වතාවක්‌ එය සැබෑවක්‌ බවට පත්වෙලා තිබෙනවා. අෂ්ටඵල බෝධීන් වහන්සේ කෙනෙක්‌ තුළ පහල විය යුතු සියලු ලක්‌ෂණයන්ගෙන් සමන්විතව මේ සිද්ධ වෙලා තිබෙන්නෙත් එදා සිද්ධ වූ දෙයම නොවෙයි ද ? මේ බෝධීන් වහන්සේගේ පහල වීම කියන්නෙ ශ්‍රද්ධාවන්තයන්ගේ ප්‍රඥාවට කතා කළ යුතු මොහොතක්‌. අද මේ රටේ බෞද්ධයන්ට අෂ්ටඵල බෝධියක්‌ සියෑසින් දැකල වන්දනාමාන කරන්න නැවත අවස්‌ථාවක්‌ උදා වෙලා තිබෙනව”.

“මේ වන විට වේගයෙන් දිය වෙලා යන බෞද්ධ කම, ශ්‍රද්ධාව නැවත ගොඩ නංවන්න විශ්වයෙන් අපට ලබා දුන් මහා පරිත්‍යාගයක්‌ හැටියට මම මේක දකිනව. මේ බෝධීන් වහන්සේ සියෑසින් දැක ඇප උපස්‌ථාන සිද්ධ කර ගෙන ශාන්තිය සැනසුම උදා කර ගත් පිරිස ගත්තොත් දහස්‌ ගාණක්‌ වෙනව. මම අත් වින්ද දෙය මම දිනපු තැන ලෝකවාසීන්ගේ සුභසෙත පිණිස යෙදවීම මගේ වගකීමක්‌ වෙලා තිබෙනව.

මම නිතරම කියන දෙයක්‌ තමයි මා කියන්නෙ බොහොම ලෙන්ගතුව විශ්වය සමග ගනුදෙනු කරන්නෙක්‌ කියන කාරණය. ඒ හැර මම කියන්නේ අමුතු මැවුම්කරුවෙක්‌ නොවෙයි. එම නිසා මට වගකීමක්‌ තිබෙනව විශ්වයෙන් ලබා දෙන පණිවුඩ ටික සමාජ ගත කරන්න”

උන්වහන්සේ පවසා සිටින දෙය සැබෑවක්‌ බව හැගී යන්නේ අප එහි වන්දනාමාන කළ දිනය ද සෙනසුරාදාවක්‌ වූ බැවින්ය. එදින එම ස්‌ථානයට අධිපති යෑයි විශ්වාස කරනු ලබන විෂ්ණු දෙවියන් පිණිස මහා පූජාවක්‌ය. එය සෑම සෙනසුරාදා දිනයක්‌ පාසා පවත්වන අතර ඒ සදහා සහභාගී වන බැතිමතුන් සංඛ්‍යාව අති විශාලය.

බුදු ගුණයට මුල් තැන ලබා දෙමින් වත් පිළිවෙත් පුරන ඔවුන් එම ස්‌ථානයේ පවතින නොපෙනෙන ශක්‌තියෙන් විශ්මිත ප්‍රතිඵල ලබා ගත් පිරිසක්‌ බවට පත්ව ඇත. ඇතැමෙක්‌ දීර්ඝකාලීනව ලෙඩ දුක්‌වලින් පීඩාවට පත්ව සිට ඉන් සුවපත් වූ පිරිසක්‌ය. තවත් පිරිසක්‌ විවිධ මානසික ව්‍යාධීන්ට ලක්‌ව සිට මෙම ස්‌ථානය මුල් කොට ඉන් සැනසීම උදා කර ගත් පුද්ගලයන් වූහ. අවසන් වශයෙන් එම විශ්මිත සුවපත් කිරීම් පිළිබදව අප විසින් බ්‍රාහ්මණවත්තේ විමලවාසතිස්‌ස නාහිමියන්ගෙන් විමසීමක්‌ කළ අතර ඒ සදහා උන්වහන්සේ විසින් පිළිතුරු සපයන්නට විය.

“දැස්‌ තිබෙන කෙනකුට මසැස තිබෙන කෙනකුට මේ ස්‌ථානයේ පවතින යථාව අවබෝධ කර ගන්න පුළුවන්කම පවතිනව. ඒකට මගේ අත්දැකීම් කීපයකුත් එකතු කළොත් මේ පුදබිම කියන්නේ මගේ රටට, මගේ ආගමට විශ්වය විසින් ප්‍රදානය කළ අමිල තිළිණයක්‌ කියල හදුන්වන්න පුළුවන්. මම එහෙම කියන්නෙ පළමුව මමත් ඉන් අනතුරුව මෙතැනට පැමිණිල සැබෑව අත් වින්ද දහස ගණනින් යුත් දුප්පත් පොහොසත් විශාල පිරිසක්‌ මුල් කර ගෙන.

ඒ හින්ද මම සැදැහැබර බෞද්ධයන්ගෙන් ඉල්ලීමක්‌ කරනව ඔබේ යටි සිතත් එක්‌ක කථා කරන්න මේ ස්‌ථානය අතරමැදියා කර ගන්න කියල. ඒකාන්තයෙන්ම ඔබට එහි සැබෑ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් වේවි”.

“අෂ්ටඵල බෝධියක්‌ මුල් කර ගෙන නානුමුර මංගල්‍යයක්‌ කරනව නම් එහි සැබෑ ප්‍රතිඵලය ඔහුට හෝ ඇයට ලැබෙනව. ඒ උපස්‌ථානය කියන්නෙ මහා ශක්‌තියක්‌ තමන් වෙත ලබා ගැනීමක්‌. ඒ හින්ද තමයි අතීතයේ විසූ රජ දරුවන් ඒ කටයුත්ත ඔවුන් විසින්ම සිද්ධ කරල තිබෙන්නෙ. ඒක අතීතයේ පටන් පැවැත එන්නක්‌. ඒ වගේම තමයි ඕනෑම ලෙඩකට දුකකට පිහිට වීමට සමත් ශක්‌ති පදාර්ථය මේ බෝධීන් වහන්සේගේ සෙවන යට පවතිනව.

මහා ප්‍රාඥයන් බිහි කිරීමේ විශ්ව ශක්‌තිය මෙතැන තිබෙනව. මේ හරහා ගත සිත සුවපත් කර ගත් දහස්‌ ගණනක්‌ බැතිමතුන් ඒ සදහා සාක්‌ෂි දරාවි. මගේ අනාගත ප්‍රාර්ථනාව බවට පත් වෙලා තිබෙන්නෙ මේ වගේ ප්‍රාතිහාර්යයන් සෑම පුදබිමකම ඇති වේවා! කියන දේ පමණයි. මොකද අද වෙද්දි බුදු දහම පටලවා ගෙන තිබෙන ඇතැමුන්ට නුවණ, අවබෝධය ඇති වීම පිණිස ඉදිරියේදී වැඩි වශයෙන් මෙවැනි දේ ඇති විය යුතුයි.”

නාහිමිපාණන් විසින් පවසා සිටින ලද බොහෝ දේ ගත් කල දුර්ලභව කෙනකුට දකින්නට ලැබෙන අෂ්ටඵල බෝධීන් වහන්සේ නමක්‌ දකුණු ලක බලපිටිය පාතේගම යෝගාශ්‍රම විහාරස්‌ථානයේ වැඩ වාසය කිරීම යනු බලපිටියට පමණක්‌ නොව සමස්‌ත රට වාසී සැමගේ නොමද ගෞරවයට පාත්‍ර විය යුත්තක්‌ය.

ඓතිහාසික බලපිටිය පුරවරය යනු නිර්මල බුදු දහම විවිධ තර්ජනයන්ට ලක්‌ වූ සෑම කල්හිම ඊට එරෙහිව නැගී සිටි මහා යතිවරුන් බිහි කළ භූමි ප්‍රදේශයකි. අමරපුර නිකාය ලංකාවට හදුන්වා දුන් කේන්ද්‍රස්‌ථානය වන බලපිටිය කලක්‌ “දෙවැනි මිහින්තලාව” නමින් විරුදාවලිය ලබන අතර බෝධිසත්ව ගුණෝපේත මහකරාවේ ඥානවිමල නාහිමියන් මෙන්ම මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ද එම පුණ්‍ය භූමිය විසින් රටට දායාද කළ අනගි පැවිදි මිණි පහන් වූහ.
astaasta1asta2asta3

උන්වහන්සේලා රට, දැය, සමය වෙනුවෙන් කරන ලද මහත් මෙහෙවර හේතුවෙන් මතු මතුත් ජීවත් වන්නන් බැවින් එම ප්‍රදේශය මුල් කර ගනිමින් මහත් ශාසනික සමාජයීය මෙහෙවරක්‌ සිදු කරගෙන යනු ලබන අෂ්ටඵල බෝධීන් වහන්සේ සහිත යෝගාශ්‍රම විහාරය ප්‍රදේශවාසී බොහෝ දෙනකුගේ ගෞරවාදරයට පත්ව ඇත්තේ ඉතිහාස මෙහෙවර ඉදිරියේදී තවදුරටත් පවත්වාගෙන යනු පිණිස විශ්වය විසින් කළ ප්‍රදානයක්‌ ලෙසිනි.

– රුවන් ජයවර්ධන

No comments