Breaking News

මුලින්ම සිංහල අකුරක්වත් බැරිව පසුව සිංහල සංස්කෘතිය ලෝකෙට අරන් ගිය ලෙස්ටර්ගේ නෑසුන් කතා.

ලෙස්ටර් ඉපදුනේ කොළඹ දෙහිවල ධනවත් පවුලකය. අක්කර 5 ක ඉඩමක සුවිසල් නිවසක ඔහු කුඩා කාලය ගත කළේය. සිහගිර නමැති මෙම නිවස ලෙස්ටර්ගේ සීයා වූ ව්‍යාපාරික ෆිලිප්‍ ප්‍රැන්සිස් සාදන ලද්දකි.
ක්‍රිකට් ක්‍රීඩාවට ලෙස්ටර්ගේ පරම්පරාවේ අය විශේෂයෙන් ළැදිවූ නිසා මෙම නිවසට අයත් වත්තේ විශාල ක්‍රිකට් පිටියක්ද අයත් විය.සිහගිර පිහිටා තිබුණේ එක්පැත්තකින් මුහුදට මායිම්වූ අලංකාර තැනකය.


ලෙස්ටර්ගේ පියා ජේම්ස් ෆ්‍රැන්සිස්ය. ඔහු ස්කොට්ලන්තයෙහි උගත් වෛද්‍යවරයෙක් විය. මව ඈන් ගර්ට්රූඩ් විනිෆ්‍රෙඩ් ජයසූරියයි. ඇය ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලබා ඉහළින් සමත්ව අවසන් කර පසුව ගෘහණියක වූවාය.
ලෙස්ටර් පීරිස්ගේ පවුලේ දෙවැන්නාවූ ඔහුද ඇතුළු දරු දැරියෝ හතර දෙනෙක් වූහ ලෙස්ටර්ගේ පියා මෙන්ම සහෝදරයින්ද ගියේ ශාන්ත පීතර විද්‍යාලයටයි. එකම සොයුරිය ගියේ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයටයි. ලෙස්ටර්ගේ පියා මීගමුවේ කුරුකුලසූරිය පරම්පරාවේ ය. මව මොරටුවේ ය. උග්‍ර ලෙස
 කතෝලික ආගමට නැඹුරුවක් ඔවුනට තිබිණි. ලෙස්ටර්ගේ පියා වෛද්‍යවරයෙකු වුවත් ඔහු දරුවන්ගේ අධ්‍යාපනය නංවන්නට බලපෑම් නොකළ බව ලෙස්ටර්ම කියයි. ඉගෙන ගන්න උනන්දු කළේ මව බවත් කවදාහරි කවුරු වෙන්න කැමතිදැයි කුඩා කළ අසනවිට තමා ‘පාප් වහන්සේ‘ වෙන්න කැමති යයි කියූ විට සියල්ලන් සිනාසුණ හැටිත් ඔහු කියයි.


 ලෙස්ටර්ගේ පියා අශ්වයන් දුවන වේලාව ගණනය කර ඔට්ටු අල්ලන්නටත් ක්‍රිකට් ක්‍රීඩාවටත් උමතුවූවෙකි.
 ස්කොට්ලන්තයෙහි දී ද වෛද්‍ය විද්‍යාවට වඩා ඔහු ප්‍රිය කළේ ක්‍රිකට් ක්‍රීඩාවට බව කියැවෙන අතර තම දරුවන් කවදාහෝ ක්‍රිකට් ක්‍රීඩකයින් වනු දැකීමට ආසා කළ බව කියැවේ.
ලෙස්ටර් ගේ පියා ලෙස්ටර්ට දඬුවම් කළේ එකම එක දවසක් බවත්  ඒ ගුවන්විදුලි යන්ත්‍රයේ වයර් කෑලි දෙකක් අමුණන්න‍ ගොස් විදුලි සැර වද්දාගැනීම නිසා බවත් ඔහු කියා ඇත. එයද කන මිරිකා කළ බැනීමක් පමණක් බව ඔහු සිනාසී කියයි. 
මව හෝ පියා හෝ ගෙදරදීවත් ගෙයින් පිටතදීවත් සිංහල වචනයක්වත් කතා කළේ නැති බවත් ලෙස්ටර්ගේ පියාගේ මව කතාකළේ සිංහල බැවින් ඇය නිවසේ සිටි කාලයේ යංතමින් සිංහල වචන දැනගත් බවත් තමාට සිනමා ක්ෂෙත්‍රයට පිවිසෙන්නට පෙර සිංහල අමුතුවෙන් හදාරන්නට අවශ්‍යවූ බවත් ලෙස්ටර් කියා තිබේ.
කතෝලික වුවත් ලෙස්ටර්ට හඳහනක් තනන්නට පියා කටයුතු කර තිබේ.
කුඩා ලෙස්ටර්ගේ හඳහන බැලූ බොරැල්ලේ ක්ලිෆර්ඩ් පෙරේරා නම් දෛවඥයා මේ හඳහනේ හිමිකරු කවදාක හෝ සිනමාකරුවකු වන බව පවසා ඇතැයි ලෙස්ටර් පසු කලෙක සිහිපත් කළේය.
ඒ කාලයේ කොළඹ කොඩැක්ස් කෝප් කුඩා යන්ත්‍ර විශේෂයක් විකුණන්නට තබා තිබුණේ ය. ඒ වනාහි කොඩැක් සමාගම නිෂ්පාදනය කළ මිලිමීටර් අට චිත්‍රපට නැරඹිය හැකි අතින් කරකවන ප්‍රක්ෂේපණ යන්ත්‍රයකි. සිය පියාගෙන් එවැන්නක් ඉල්ලා සිටියේදැයි ලෙස්ටර්ට දැන් මතක නැත. එහෙත් පියා කොඩැක්ස් කෝප් යන්ත්‍රයක් ගෙදරට ගෙනාවේය. ලෙස්ටර් මුල්වරට චාලි චැප්ලින්ගේ චිත්‍රපට දුටුවේ එම ප්‍රක්ෂේපණ යන්ත්‍රය තුළිනි. 
ලෙස්ටර්ගේ පවුලේ කලාවට නැඹුරුවූයේ ඔහු හා මල්ලී අයිවන්ය.
 ලෙස්ටර්ගේ හිත ඇදී තිබුණේ සාහිත්‍යයට, ගීතයට සහ සිනමාවටය. ලෙස්ටර්ගේ මල්ලී අයිවන්ගේ සිත ඇදී තිබුණේ චිත්‍ර කලාවටය. ලෙස්ටර් දෙමාපියන් සමග වැල්ලවත්තේ ප්ලාසා සහ පංචිකාවත්තේ කැපිටොල් යන සිනමාහල්වලට චිත්‍රපට බලන්ට ගියේ ය. ගෙදරදී මවගේ පියානෝ වාදන ඇසුවේ ය. ඇයට එංගලන්තයෙන් ඇණවුම්කොට පියානෝවක්  ගෙනැවිත් දී තිබුණි. 
එහෙත් ලෙස්ටර්ට පියානෝලාව වාදනය තහනම් විය. එයට හේතු ව එය ස්ත්‍රී තූර්යවාදක භාණ්ඩයක් ලෙස මව විසින් වර්ග කරනු ලැබීමයි. ඇය විසින් පුරුෂ තූර්යභාණ්ඩයක් වූ වයලීනයට ලෙස්ටර්ගේ අත හුරු කිරීම සඳහා රිචඩ් වාගන් නැමැති ඩෙන්මාක්ජාතික ගුරුවරයා වෙත යවන ලදී. එහෙත් ‍වයලීන වාදනයට ලෙස්ටර් ප්‍රිය කළේ නැත. ඔහු වයලීන පන්තියට ගොස් ගුරුවරයාට නොපෙනෙන්නට එහි තත් බිඳ දැමීය. ගුරුවරයා කළේ යළි යළිත් තත් යොදමින් විභාග දෙකක් සමත් වනතුරුම ලෙස්ටර්ට වයලීන වාදනය ඉගැන්වීමය. වයලින් පන්තියේ රූමත් ශිෂ්‍යාව විවාහ කරගෙන ගුරුවරයා ගම හැරයාම නිසා ලෙස්ටර්ගේ පළමුවන සංගීත පාඩම නිම විය. ලෙස්ටර්ගේ ඊළඟ සංගීත ගුරු වූයේ ගොරෝසු ගති පැවතුම් ඇති සිල්වා මහත්මියයි. ඇය වැරදි ස්වරයක් වාදනය වූ සැනින් ඇඟිලි පුරුක් වලට අඩිකෝදුවෙන් පහර දුන්නාය. ඒ නිසා ඔහු එය වදයක් ලෙස සලකා අත්හැර දමා ඇත.
ඒ කාලයේ වරක් සුපතළ කලාකරු ලයනල් වෙන්ඩ්ට් ලෙස්ටර්ගේ පියාට උපදේශයක් දුන්නේය. ‘ලෙස්ටර් කැමති දේ කරන්න ඉඩ ‍දෙන්න’ ඒ උපදේශයයි.
සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු සියල්ල අතහැර ලෙස්ටර් Times of Ceylon වාර්තාකරුවා ලෙස ලන්ඩනයේ ටයිම්ස් කාර්යාලයට ගියේය. Times of Ceylon පත්‍රයට ලියන අතර London Daily Express - Evening Standard සහ London Times පත්‍රවලටත් ලිපි සම්පාදනය කළේය. අවුරුදු 8 ක් ගෙවී ගියේය. ඔහු හිතා හිටියේ පත්‍ර කලාව දිගටම කරන්නටය.


 නමුත් ඔහුට එංගලන්තයේ කලාව හදාරන්නට අවස්ථාවක් උදාවිය. එම ගමනින් පසු ඔහු සිනමාව ගැන ආශාවක් ඇති කරගත්තේය.
ලෙස්ටර් ලන්ඩනයේ දී සොලිලොකියු (ආත්ම භාෂණය - 1949) නමින් විනාඩි 13 ක කෙටි චිත්‍රපටයක් හැදුවේය. මහා බ්‍රිතාන්‍යයේ ආධුනික සහ පර්යේෂණාත්මක චිත්‍රපට තනන්නන්ගේ උලෙළේ දී ශිල්පීය ප්‍රවීණතාව උදෙසා සිනමාභියෝග කුසලානය ඊට හිමිවිය. ඊළඟට ඔහු කලකට ඉහත තමන් ලියූ කෙටි කතාව පදනම් කරගෙන Farewell to Chilhood කෙටි චිත්‍රපටය ද හැදුවේය. ලන්ඩන් ටයිම්ස් පත්‍රය වෙනුවෙන් රැල්ෆ් කීන් සමඟ සම්මුඛ සාකච්ඡාවකට යන්නට සිදුවුණේ මේ අතරතුරය. 
ලංකාවට ආ පසුව ඔහු ශ්‍රී ලංකාවේ රජයේ චිත්‍රපට අංශයේ පත්වීමක් ලබා එහි යෑමට නියමිතව සිටියේය.
රැල්ෆ් කීන් කොළඹට පැමිණ ලෙස්ටර්ට ලියුම් පිට ලියුම් ලිව්වේය. අන්තිමේදී ඔහු පැමිණ රජයේ චිත්‍රපට අංශයට බැඳී ‘නෙළුම්ගම’ - ‘ලංකාවේ උරුමය’ යන චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේය. ‘නෙළුමගම’ පටිගත කරද්දී, සිනෙ කැමරාව චිත්‍රාගාරයෙන් එළියට ගතහොත් බොහෝ දේ කළහැකි යැයි ලෙස්ටර්ට සිතිණි. ඔහු සිංහල සංස්කෘතිය ගැන භාෂාව ගැන මනාලෙස අධ්‍යයනය කළේය.
ලෙස්ටර් සිය ඉහළ පැළැන්තියේ වටිනාකම්වලට පයින් ගසා සිනමාව ස්වකීය වෘත්තිය ලෙස තෝරා ගත්තේය. ටයිටස් තොටවත්ත - විලී බ්ලේක් සමඟ ලෙස්ටර් රජයේ චිත්‍රපට අංශයෙන් නික්මුණේ ‘රේඛාව’ හැදීමේ අරමුණ ඇතිවය.
1956 නව යටත් විජිතවාදයට අභියෝග කරමින් සිදු වූ දේශපාලන පෙරළියෙන් ඉක්බිති අපේ සංස්කෘතික ක්ෂේත්‍රයේ ද පෙර නොවූ විරූ පෙරැළියක් සිදුවිය. 1956 දී මනමේ නාටකය නිර්මාණය කළේය. මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ‘විරාගය’ ලීවේය. ලෙස්ටර් ජේම්ස් පීරිස් ඓතිහාසික ‘රේඛාව’ නිර්මාණය කළේය.

චිත්‍රාගාරයේ සිරගත කරනු ලැබ සිටි සිනෙ කැමරාවත් රැගෙන ඔහු චිත්‍රාගාරයෙන් නික්මී ගමට ගිය ගමන 
එමගින් නිරූපණය වූ අතර මුල් කාලයේ රේඛාව සාර්ථක නිර්මාණයක් ලෙස කථාබහට නොආ නමුත් පසු කලෙක ලංකාවේ සිනමා ගමන වෙනස් කළේ එය බව කවුරුත් තේරුම් ගත්තේය.
ඔහු බිහිකළ නිර්මාණ රැසක්ම ලෝකය ජයගත්තේය. එදාමෙදා තුර නිධානය චිත්‍රපටය ලබාගත් ජයග්‍රහණයට සමකළ හැකි සම්මානයක් ලංකාවේ කිසිදු නිර්මාණකරුවෙකු ලබාගෙන නැත.
ලෙස්ටර් සම්මුඛ සාකච්ඡා ප්‍රිය නොකළ අයෙකි. ඔහු කළ දේවල් බොහෝ අය දුටුවේ වැඩ වලිනි. මඩොල්දූව හරිගියේ මාටින් වික්‍රමසිංහගේ නව කතාව ප්‍රබල නිසානේ.බැද්දේගම හරිගියේ ජෝගේ රඟපෑම නිසානේ. යුගාන්තය හරිගියේ තිස්ස අබේසේකර නිසානෙ ආදී ලෙස පමණක් ඔහු කියයි.ඔහුගෙන් නිර්මාණ ගැන අසන බොහෝ අවස්ථාවල එහි සාර්ථකත්වය පසුපස සිටින්නේ අහවලාය අහවලාය යනුවෙන් නම් කරනු විනා තමන් ගැන පුරාජේරු නොකීම සිරිතකි. 
සිනමාවෙන් ඔහු හම්බු කළේද නැත.ඔහු මියයනතුරුම ජීවත්වූයේ කුලී නිවසකය. ඔහු දිගු කලෙක සිට රජයෙන් ඉල්ලූ එකම දෙය ලංකාවට සිනමා සංරක්ෂණාගාරයක් සාදා දෙන ලෙස පමණි. 

No comments