Breaking News

ත්‍රීරෝද ගාස්තු වැඩි කරයි : බස් ගාස්තුත් ඉහල යන ලකුණු !

feature-top


ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කිරීමත් සමඟ ත්‍රීරෝද රථ ගාස්තුද ඉහළ නැංවීමට ත්‍රීරෝද රථ වෘත්තීය සමිති තීරණය කර ඇත.

ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා අය කිරීම රුපියල් පනහේ සිට රුපියල් හැට දක්වා රුපියල් දහයකින් වැඩි කිරීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත්, දෙවන කිලෝමීටරයට අය කරන ගාස්තුව සංශෝධනය නොකිරීමට ත්‍රීරෝද රථ වෘත්තීය සමිති තීරණය කර ඇත.

ගාස්තු වැඩි නොකර තවදුරටත් තම සේවාව පවත්වාගෙන යාමට නොහැකි බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මේ අතර, ඉන්ධන මිල වැඩිවීමත් සමඟ බස් ගාස්තුද වැඩි කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුයේ, අද පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවයි.


'සමෘද්ධිලාභීන්ට සහ ධීවර කාර්මිකයන්ට රුපියල් 44 මිලටම භූමිතෙල් ලීටරයක් දෙනවා' - රජයේ මාධ්‍ය ප්‍රකාශක

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඊයේ (10දා) මධ්‍යම රාත්‍රියේ සිට බලපවත්වන පරිදි වැඩි කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 117 සිට 137 දක්වා රුපියල් 20කින්ද, ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක් රුපියල් 128 සිට 148 දක්වා රුපියල් 20කින්ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 95 සිට 109 දක්වා රුපියල් 14කින්ද, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 110 සිට 119 දක්වා රුපියල් 9 කින්ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 44 සිට 101 දක්වා රුපියල් 57 කින්ද වැඩි කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (09දා) රාත්‍රි පැවැති විශේෂ සාකච්ඡාවකදී එම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක ‍ෙදාස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.

සමෘද්ධිලාභීන්ට සහ ධීවර කාර්මිකයන්ට රුපියල් 44 මිලටම භූමිතෙල් ලීටරයක් ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී ඉන්ධන අලෙවියෙන් ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් මිලියන 9,886ක පාඩුවක් සිදුවී ඇති බවද ඔහු කීය.

ඉන්ධන මිල සූත්‍රයක් ගෙන ඒමට රජය අපේක්ෂා නොකළ බව පැවැසූ හෙතෙම බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 48 සිට 74 දක්වා ඉහළ යෑම, මෙසේ ඉන්ධන මිල ඉහළ දැමීමට හේතු වූ බව අවධාරණය කළේය.


(under the courtesy of srilankamirror.lk news web)

No comments