Breaking News

හදිසි අවස්ථාවක් සේ සලකා රාමසාන් වෙනුවෙන් රටඉඳි අවශ්‍ය තරම් බෙදා හරින ලෙස අගමැතිගෙන් උපදෙස්

රාමසාන් උත්සව සමයේ ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය තරම් රටඉඳි තොග බෙදා හැරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ. මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් සහ ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබාදී ඇත.
රාමසාන් සමයේ ඉස්ලාම් භක්තිකයන්ගේ පරිභෝජනය සඳහා මුස්ලිම් සිද්ධස්ථාන හරහා රටඉඳි බෙදා හරිනු ලබන අතර, පසුගිය වසරේ සවුදි අරාබිය නොමිලයේ ලබාදුන් රටඉඳි ටොන් 150ක් බෙදා හැරීමට කටයුතු කර තිබේ. ඊට සමගාමීව සතොස මගින්ද තවත් රටඉඳි ටොන් 150ක් බෙදා හැරීමට කටයුතු කර තිබිණි.
මෙවර මැදපෙරදිග රටඉඳි අස්වැන්න අඩුවීම හේතුවෙන් නොමිලයේ ලැබෙන රටඉඳි තොග අඩු වීමක් සිදු වී ඇත. මේ හේතුවෙන් සතොස හරහා මෙම වර්ෂයේද ප්‍රමාණවත් පරිදි රටඉදි තොග මැදපෙරදිගින් ගෙන්වන ලෙස සතොස සභාපතිවරයාට හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති අතර, රට ඉඳි තොග බෙදා හැරීම සඳහා මැදිහත් වන්නැයි කාර්ගිල්ස් ආයතනය ඇතුළු පෞද්ගලික අංශයටද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.



No comments