කුලසිංහ දියවර සමඟ අමරණීය වන කොන්ක්‍රීට් විශ්වකර්මයා | Reporter කුලසිංහ දියවර සමඟ අමරණීය වන කොන්ක්‍රීට් විශ්වකර්මයා - Reporter

Hot News

කුලසිංහ දියවර සමඟ අමරණීය වන කොන්ක්‍රීට් විශ්වකර්මයා


කොළඹ ග්‍රහලෝකාගාරය හෝ වරායේ සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍යය හෝ පොල්ගොල්ල වේල්ල එකවරක් හෝ දකින්නකු තුළ වුවත් විස්මයක් හට ගනු නොඅනුමාන යි. එහි නිර්මාතෘවරයා ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතායි. 

මිරිස්ස, තංගල්ල, බේරුවල ධීවර වරායවල නිර්මාණ ශිල්පියා වූ කුලසිංහ මහතා, ලංකාවේ ඉංජිනේරු ආයතන කිහිපයකම සභාපතිත්වය දරා තිබෙනවා. නන්දසේන සිල්වා කුලසිංහ මහතා එක අංශයකින් පමණක් නොව අංශ කිහිපයකින්ම දක්ෂතා දැක් වූ කෙනෙක්. සිවිල්, යාන්ත්‍රික, ඉංජිනේරු සහ නාවික අංශවලින් විස්කම් දැක්වූ මෙතුමා වඩාත් ජනප්‍රිය වූයේ තමා විසින් සොයා ගන්නට යෙදුනු පෙරසවි කොන්ක්‍රීට් තාක්ෂණය නිසයි. මේ සිදුවීම නිසා ලෝක ප්‍රසිද්ධ වුණ කුලසිංහ මහතා වඩාත් ජනප්‍රිය වුයේ “කොන්ක්‍රීට් කුලසිංහ” නමින්. 1919 දී ජාඇළ උදම්විට උපන් ඒ. (අරුමාදර) එන්. (නන්දසේන) එස්. (සිල්වා) කුලසිංහ අධ්‍යාපනය ලැබුවේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් හා කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහලෙන්. ඔහු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිර්මාතෘ හා ප්‍රථම සභාපති යි. ශ්‍රී ලංකා ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය (NERD) ආරම්භ කරන ලද්දේ ත් කුලසිංහයන් විසින්. විවිධ කාලවල විවිධ ආයතනවල නිලතල දැරූ හෙතෙම ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සම්මාන ගරු බුහුමන් බොහෝමයක් ලබා තිබෙනවා.1979 දී මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඔහුට ආචාර්ය උපාධිය පිරිනැමුවා. පෙරසවි තාක්ෂණය (PRE STRESSED CONCRETE) අනුව ඔහු ඉදිකිරීම් රැසක් සිදු කර තිබෙනවා. අපේ රටේ කොන්ක්‍රීට් විශ්වකර්මයා ලෙස හැඳින්වෙන්නේ ඔහුයි.

 චෛත්‍ය, තට්ටු නිවාස, ආයතන, ගොඩනැඟිලි, වරාය, පාලම් යනාදී වශයෙන් ඉදිකිරීම් ගණනාවකට නිර්මාතෘ වන්නේ කුලසිංහ. ශ්‍රී ලංකාව 1948න් පසු බුද්ධිමත් දක්ෂ විද්‍යාඥයන් කීපදෙනකු ම බිහි කළ අතර ආචාර්ය කුලසිංහ ද ඔවුන් අතර එක් අයකු බව ආතර් සී. ක්ලාක් මහතා වරක් පවසා තිබෙනවා. කුලසිංහයන් මෙරට පමණක් නොව මැලේසියාව ,ඉන්දුනීසියාව, සිංගප්පූරුව, පිලිපීනය, තායිලන්තය වැනි රටවල ද උපදේශක ඉංජිනේරුවකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

 කුලසිංහයන්ගෙන් සිදු වූ මහානාර්ඝ සේවයක් වන්නේ වසර 30කින් ඉදිකිරීමට ‍යෝජිතව තිබූ මහවැලි ව්‍යාපෘතිය වසර 6කින් නිම කිරීමයි. කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ වූ නළ මාර්ග හා විදුලිබල මධ්‍යස්ථාන ඇතුළුව වික්ටෝරියා, කොත්මලේ, මාදුරු ඔය, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ ඉදිකිරීම කටයුතු අධීක්ෂණය කළේ ඔහුයි. මිරිස්ස, තංගල්ල, යාපනය, බේරුවල ධීවර වරාය කුලසිංහයන්ගේ නිර්මාණ. තාර ඇතිරූ මහාමාර්ගවලට කොන්ක්‍රීට් දැමීම, දුම්රිය මාර්ගවල දැව සිල්පර වෙනුවට කොන්ක්‍රීට් සිල්පර දැමීම, පූට්ටු පාලම් ඉදිකිරීම් කුලසිංහයන් ගේ අධීක්ෂණය යටතේ සිදුවුණු තවත් වැදගත් ක්‍රියාකාරකම්. දේශීය ඉංජිනේරුවන්ගේ ශිල්පීය හැකියාව කෙරෙහි කුලසිංහයන් සියයට සීයක් විශ්වාසය තැබුවා. විදේශීය උපදෙස් ගැන ඔහු ඒ තරම් තැකීමක් කළේ නැහැ. ඔහු ඇතැම් අවස්ථාවල දී විදේශීය ඉංජිනේරුවන් සමඟ ගැටුණු බවක් ද සඳහන් වෙනවා. ඊට හොඳම නිදර්ශනයක් තමයි මාදුරුඔය ජලාශයේ ඉදිකිරීම.වානේ සංස්ථාව හා පිටි කම්හල ඉදිකිරීම්වලදී ද මෙවැනි විරෝධතා නිසා කුලසිංහයන් රුසියානු ඉංජිනේරුවන් සමඟ ගැටුණු බව ඔහුගේ සමකාලීයන් කියා තිබෙනවා. කළුතර බෝධිය කුලසිංහයන්ගේ තවත් මාහැඟි නිර්මාණයක්.වික්ටෝරියා වේල්ල කළුතර චෛත්‍යයේ නිර්මාණ සැලැස්ම දුටු ලංකාවේ කිසිම ඉදිකිරීමේ සමාගමක් එය ඉදිකිරිම භාර ගත්තේ නැහැ. අවසානයේ කුලසිංහම ඉදිරිපත් වී චෛත්‍යයේ වැඩ නිම කළා.අපේ රටේ ඉදිකිරීම් ප්‍රතිපත්තියක් නැතිකම ගැන කුලසිංහයන් නිරන්තරවම කතා කළා “අපේම සම්පත් උපයෝගි කරගෙන, දේශගුණයට සරිලන පරිදි වියදම් අඩු, පරිසරයට හානියක් සිදු නොකරන ඉදිකිරීම් ප්‍රතිපත්තියක් අපි හදාගන්න ඕනෑ.” ඒ ඔහු කියූ දේ. එවිට විදේශීය සමාගම්වලට ඉදිකිරීම් කොන්ත්‍රාත් දීම අවශ්‍ය නොවන බව ඔහු කියා සිටියා. කුලසිංහ මහතාගේ අතිවිශිෂ්ට ක්‍රියාකාරකම් අතර, ඉන්ධන ඉතිරිකිරීමේ FS 77 Fuel Saver තාක්ෂණය ,ග්‍රහලෝකාගාරය ,රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ,පෙරසවි කොන්ක්‍රීට් තාක්ෂණය,කොත්මලේ මහා සෑය,වරාය චෛත්‍යය,කළුතර මහා සෑය,පෙරසවි තාක්ෂණයෙන් නිම කරන ලද නිර්මාණ ඉදිරිපත් කිරීම ,මාලිගාවිල සුවිසාල බුදුපිළිමය එසවීම,මහවැලි ව්‍යාපාරය කඩිනමින් අවසන් කිරිම,ධීවර වරායන් සහ වරායන් ඉදිකිරීම,රාජ්‍ය ඉංජිනේරු ක්ෂේත්‍රය විධිමත් කිරීම,පුත්තලම් සිමෙන්ති කර්මාන්ත ශාලාව ඉදිකිරීම,මැලේසියාවේ චෙන්ඩරින් වරාය ඉදිකිරීම් අධීක්ෂණය,නාරාහෙන්පිට එවකට වගුරු බිමක මාලිගාවත්ත ආදී මහල් නිවාස පද්ධතියක් ස්ථාපනය කිරීම,ටයර් සංස්ථාව, ජාතික විද්‍යා පදනම, ලේලන්ඩ් සමාගම, ලංකා වානේ සංස්ථාව, වැනි ආයතනවලට නායකත්වය සැපයීම,එක්සත් ජාතීන්ගේ ප්‍රමිතිකරණ අධීක්ෂකවරයෙක් ලෙස කටයුතු කිරීම …ආදී බොහෝ දේ ඒ. එන්. එස් කුලසිංහ ශ්‍රී නාමය ඉදිරියෙන් ලියවී තිබෙනවා. 

 කිසිවිටකත් මෙරට ඉදිකිරීම් සඳහා විදේශ උපදෙස් නොපැතූ ඔහු ලංකාව තුළ විදේශයන්ගෙන් පැමිණ උපදෙස් ගන්න තරමට දක්ෂ ඉංජිනේරුවරුන් සිටින බව තරයේ විශ්වාස කළා. මේ අසහාය පුද්ගලයා 2006දී අප අතරින් සදහටම සමුගත්තා. ඒ කතා කොට අවසන් කළ නොහැකි තරම් වූ නිර්මාණ රැසක් අප රටට සහ ලෝකයට දායාද කිරීමෙන් පසුවයි. මොරගහකන්ද ජලාශය අද (2018.07.23) සිට ආචාර්ය ඒ.එන්.එස් කුලසිංහ ජලාශය බවට නම් කළා.වාරි තාක්ෂණයේ විශිෂ්ටයකු වන දේශබන්ධු ඒ.එන්.එස්. කුලසිංහ මහතා සිහිවීම පිණිස ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ජලාශයට ඔහුගේ නම තබන්නට කටයුතු කළේ මේ නිහඬ විශිෂ්ටයාට කළගුණ සැලකීමක් වශයෙනුයි. මෙයයි කළගුණ සැලකීම.මෙයයි විය යුත්තේ. අපේ නිමැවුම්කරුවන් තැනූ තාක්ෂණය ගැන සිහිපත් කිරීම වගේම ඒ ඒ තාක්ෂණික අංශ දියුණු කිරීමත් කළ යුතුයි. තවත් අලුත් දේ සමගින් අද දවසේත් වැදගත් නිමැවුම් ජනනය කරගත හැකි වටපිටාවක් නිර්මාණය කරගැනීමට හැකිනම්, එය හෙට දවසේ ඒ එන් එස් කුලසිංහ මහතා වැනි ශ්‍රේෂ්ඨ මැවිසුරන් වෙනුවෙන් කළ හැකි මාහැඟි උපහාරයක්. කඳුළින් ඇරැඹි රජරට පොළොව තෙමා ගොවිජන කඳුළු පිසින මොරගහකන්ද කළු ගඟ දියවර මෙතැන් පටන් කුලසිංහ නාමයත් සමඟ නූතන වාරි ක්‍ෂේත්‍රයේ අමරණීය සංධිස්‌ථානයක් වනු ඇත. 

 -ශානිකා රත්නායක-

No comments