ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම | Reporter ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම - Reporter

Hot News

ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම


අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිලි ඉදිරියටත් විභාග කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු අගවිනිසුරුවරයාට නිර්දේශ කළහ.
මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ අන්තර්ගතය තුළින් බැලූ බැල්මටම අධිකරණයට අපහාසයක් සිදුවන බව පෙනී යන බව නීතිපතිවරයාගේ නිගමනය වී තිබේ.

අධිකරණයට අපහාස කිරීම යනු කුමක්ද?

අධිකරණයට අපහාස කිරීම යනු කවරක් දැයි ශ්‍රී ලංකාවේ නීතිය තුළ නිශ්චිතව අර්ථ දක්වා නැත.
නීතිය තුළ එවැනි අර්ථ දැක්වීමක් නොතිබීම අමාත්‍ය එස්බී දිසානායකට එරෙහිව 2003 දී පවරන ලද නඩුව සම්බන්ධයෙන් ප්‍රතිචාරය දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පවා අවධානය පළ කර තිබූ බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, නීතිඥ ජගත් ලියනාරච්චි පැවසීය.
"එසේම අධිකරණයට අපහාස කිරීම පිළිබඳ කටයුතු කරන අධිකරණ ක්‍රියාපටිපාටිය දැක්වෙන නීතියක් ද පණවා නැත. මේ නිසා අධිකරණවල විනිසුරුතුමන්ලාට ඇතිවන හැඟීම් අනුව ද දඬුවම් කිරීමට ඉඩක් ඇත," යනුවෙන් ද නීතිඥ ජගත් ලියනාරච්චි විසින් ඒ සම්බන්ධයෙන් සකස් කරන ලද අධ්‍යයන වාර්තාවක දැක්වේ.
කෙසේ වෙතත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කරුණු දක්වා තිබේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි අධිකරණයේදී හෝ අන් ස්ථානයකදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් "බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකින්ම හෝ දඬුවම් කිරීමේ බලය" ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට පැවරේ. (එහි අන්තර්ගතය පහත දැක්වේ.)

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිය

ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක පෙන්වා දුන් පරිදි,
  • ජනතාව ඉදිරියේ අධිකරණයේ ගරුත්වයට හානිවන ආකාරයේ ඕනෑම ක්‍රියාවක්
  • ජනතාව ඉදිරියේ අධිකරණය හෙළා දැකීම, හෑල්ලුවට ලක් කිරීම හෝ හාස්‍යයට ලක් කිරීම
  • අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම
  • අධිකරණ නියෝගයක් අභියෝගයට ලක් කිරීම (අභියාචනයක් ඉදිරිපත් කිරීම නොවේ)
  • අධිකරණය තුළ නොහික්මුණු හැසිරීම
  • සමස්ත අධිකරණයටම හෝ සියලු විනිසුරුවරුන්ට නිගරුවන අන්දමේ ප්‍රකාශ හෝ හැසිරීම්
අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකිය හැකිය.
දඬුවම් මොනවා ද?
ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, නීතිඥ ජගත් ලියනාරච්චි  පැවසූ පරිදි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පැනවිය හැකි දඬුවම් 1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ දක්වා තිබේ.
ඒ අනුව,
  1. මහාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන පුද්ගලයෙකුට වසර පහකට අඩු බරපතල හෝ බරපතල නොවන සිර දඬුවමක් හෝ රුපියල් 5000 කට අඩු දඩයක් හෝ ඒ දඬුවම් දෙකම නියම කිරීමේ බලය මහාධිකරණයට හිමි වේ. (18 වෙනි වගන්තිය)
  2. දිසා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර දෙකක් දක්වා බරපතල හෝ බරපතල නොවන සිර දඬුවමක් හෝ රුපියල් 2500 කට අඩු දඩයක් හෝ එම දඬුවම් දෙකම නියම කිරීමේ බලය දිසා අධිකරණයට පවතී. (55 (අ) වගන්තිය)
  3. මහේස්ත්‍රාත් හෝ සුළු අපරාධ අධිකරණයකට අපහාස කිරීම සම්බන්ධයෙන් මාස 18 ක් දක්වා සිර දඬුවම් හෝ රුපියල් 1000 ක් දක්වා දඩයක් හෝ ඒ දඬුවම් දෙකම නියම කළ හැකිය. (55 (ආ) වගන්තිය)

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමග අධිකරණ භූමියේImage copyrightRANJAN RAMANAYAKE/ FACEBOOK
Image captionනියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමග අධිකරණ භූමියේ

අධිකරණයට අපහාසයක් නොවන්නේ කුමක්ද?

  • අධිකරණ නියෝගයක් හෝ අධිකරණ ක්‍රියාමාර්ගයක් සාධාරණ විවේචනයකට ලක් කිරීම
  • අධිකරණය පිළිබඳ අධ්‍යයනයක් මගින් අධිකරණය හෝ අධිකරණ ක්‍රියාමාර්ග විවේචනයට ලක් කිරීම
  • අධිකරණය ඉදිරියේ පවතින නඩු විභාග ප්‍රමාදවීම සම්බන්ධයෙන් කෙරෙන විවේචන
  • රටේ අධිකරණමය ක්‍රමවේදය සංශෝධනය කිරීම සඳහා වූ ඉදිරිපත් කරන විවේචන
  • විනිශ්චයකාරවරයෙකුට එරෙහිව පැමිණිල්ලක් යොමු කිරීම
  • අධිකරණ ක්‍රමය වඩා කාර්යක්ෂම කිරීම පිණිස කෙරෙන යෝජනා
අධිකරණයට අපහාසයක් ලෙසින් නොසැලකිය යුතු බව ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක පෙන්වා දෙයි.

වෛද්‍ය අනුරුද්ධ පාදෙනියImage copyrightGMOA
Image captionවෛද්‍ය අනුරුද්ධ පාදෙනිය

කෙසේ වුවත්, රටේ සාමාන්‍ය පුරවැසියන්ට පමණක් නොව, අධිකරණයේ විනිශ්චයකාරවරයෙකුට එරෙහිව පවා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව එල්ලවිය හැකි බව ද ජ්‍යෙෂ්ඨ නීතිවේදියා පෙන්වා දෙයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ අධිකරණය තුළ පුරවැසියන් සහ ඇතැම් අවස්ථාවල නීතිවේදීන් පවා අසාධාරණයට ලක්වූ අවස්ථා පිළිබඳ ඉතිහාසයේ උදාහරණ පවතින බවත් නීතිඥ ලාල් විජේනායක කියා සිටියේය.
"ඒ කියන්නේ අධිකරණය සම්පූර්ණ බලය පාවිච්චි කරලා පුද්ගලයන් පීඩනයට ලක්වෙන ආකාරයෙන් ක්‍රියා කළ අවස්ථාත් තිබුණා. අධිකරණයේ ගෞරවය හානිවෙන විදියට විනිශ්චයකාරවරු හැසිරෙනවා නම් ඒකත් අධිකරණයට අපහාස කිරීමක්."

බන්ධනාගාරයේදී පහර කෑමට ලක්වූ ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දු දැන් කැනඩාවේ වාසය කරයිImage copyrightFACEBOOK/ TONY FERNANDO
Image captionබන්ධනාගාරයේදී පහර කෑමට ලක්වූ ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දු දැන් කැනඩාවේ වාසය කරයි

වෙනත් උදාහරණ

  1. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු හිටපු අමාත්‍ය එස්බී දිසානායකට බරපතල වැඩ ඇතිව දෙවසරක සිර දඬුවමක් නියම කෙරිණ.
  2. එවකට අගවිනිසුරුවරයාට එරෙහිව පවරා තිබූ නඩුවකදී අධිකරණයේදී 'උස් හඬින්' කථා කිරීමේ චෝදනාව මත අගවිනිසුරුවරයා විසින්ම ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දුට වසරක සිර දඬුවමක් නියම කරන ලදි. එම තීන්දුව ජාත්‍යන්තර වශයෙන් ද විවේචනයට ලක්විය. පසුව බන්ධනාගාරයේදී ඔහුට පහරදීම සම්බන්ධයෙන් ඔහුට වන්දි ගෙවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.
  3. අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කිරීමේ චෝදනාව යටතේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනියට එරෙහිව මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණි වියන්ගොඩ විසින් අධිකරණය වෙත පෙත්සමක් ගොනු කොට තිබේ.
  4. බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කළ බව පවසමින් හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් අභියාචනාධිකරණයේ පැමිණිල්ලක් ගොනු කොට තිබේ.
  5. අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අල්ලස් කොමිසම ඉදිරියේ උද්ඝෝෂණ කළ බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ භික්ෂූන් වහන්සේ ඇතුළු කණ්ඩායමකට එරෙහිව නඩු පවරනු ලැබ තිබේ.

අමාත්‍ය එස් බී දිසානායක
Image captionඑස් බී දිසානායක

අධිකරණයට අපහාස කිරීම යනු කවරක් දැයි නීතිය නිශ්චිතව අර්ථ දක්වා නොමැති බැවින් ශ්‍රී ලංකා නීති කොමිසම විසින් 2008 දී ඒ පිළිබඳ නීති කෙටුම්පතක් සම්පාදනය කරන ලදි.
කෙසේ වුවත්, කැබිනට් මණ්ඩලය පවා මෙතෙක් එම කෙටුම්පතට අනුමැතිය පළ කර නොමැති බව නීතිඥ ජගත් ලියනාරච්චි වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා නීති කොමිසම විසින් 2008 දී සකස් කරන ලද කෙටුම්පත
Image captionශ්‍රී ලංකා නීති කොමිසම විසින් 2008 දී සකස් කරන ලද අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නීති කෙටුම්පත


No comments